ආදරය සුවසේ විඳින්න

පෙබරවාරි 6, 2019

පෙබරවාරි නැත්නම් නවම් මාසය ආදරණීය හදවත්වලට හිමි මාසයයි. පෙම් ලොව ප්‍රේමණීය දිනය, වැලන්ටයින් දිනය උදා වී ඇත්තේ පෙබරවාරි 14 වැනි දිනටයි.

ආදරයෙන් හිසේ සිට පාදාන්තය දක්වා උණුසුම් වන දිනයේදී පෙම්වතුන්ට සුවසේ සෙනෙහස විඳින්නට නම් එහි සුව සතුරන් පරාජය කළ යුතුය.

හාදු දීමේදී . . .

උණුසුම් හාද්දක් ආදරයේ දොරටුව විවර කරයි. සෙනෙහසේ අනන්තයට යාමට පාර කපයි. ආදරණීය හාද්දකින් ලැබෙන සුව වාසි ද ගණනාවක් තිබේ.

එමඟින්,

ආත්මීය බැඳීම සවිමත් වෙයි. ආතතිය අඩු වේ. ඔක්සිටොසීන්, ඩොපමින්, සෙරොටොනින් හෝර්මෝන හාදු දීමේදී මොළයෙන් නිදහස් වන අතර ඒවා දෙදෙනාගේ ආකර්ෂණීය බැඳීම වැඩි කරයි. එය දිගුකාලීන සෙනෙහසකට අඩිතාලම දමයි. එපමණක් නොව ආතති හොර්මෝනය හෙවත් කෝටිසෝල් හෝර්මෝන මට්ටම අඩු කරයි. ආදරය කිරීමේදී දැනෙන තෘප්තිය වැඩිවේ.

ඔක්සිටොසීන් කාංසාව ද අවම කරයි.

රුධිර පීඩනය අඩුවේ

හාදු දීමේදී රුධිර නාල පුළුල්වේ. එමඟිින් වැඩි රුධිර පීඩනය අඩුවේ. තවත් අතකින් පැවසුවොත් රුධිර නාල පුළුල් වී හදවතේ සෞඛ්‍ය ද යහපත් වේ. බඩ කොරවීම වැනි තත්ත්වයන්ගෙන් සහනයක් ලද හැකිය. හිසරදය අඩුවීමට ද නහර පුළුල් වීමට ද බලපායි. ආතතිය නිසා ඇතිවන හිසරදය ද මෙමඟින් අඩුවේ.

ප්‍රතිශක්තිය ඉහළ යයි . .. .

හාදුවකදී එකිනෙකාගේ විසබීජ ද හුවමාරු වන අතර එමඟින් ප්‍රතිශක්තිය ඉහළ යයි. එකම විශ්වාසවන්ත සහකරුවකු සමඟ හාදු හුවමාරු කර ගැනීමේදී එකම විසබීජ දෙදෙනාගේ ඛේඨයේ සහ දිවවල්වල අඩංගු වේ.

ආතතිය අසාත්මිකතා වැඩි කරන අතර ආතතිය අඩුවීමෙන් අසාත්මිකතා අඩු වීම හාදුවේ තවත් වාසියකි.

කොලෙස්ටරෝල් එකතුව අඩුවේ

(ටෝටල් කොලෙස්ටරෝල්) රුධිරයේ අඩංගු කොලෙස්ටරෝල් එකතුව ඩෙසිලීටරයට මිලිග්‍රෑම්ස් 200 ට අඩු විය යුතුය. එසේ වූ විට හදවත් රෝග, ආඝාතය අඩුවේ.

දත් කුහර සෑදීම වළක්වයි

හාදුවෙන් ඛේඨය ඉනීම උත්තේජනය වෙයි. මුඛයේ ඛේඨය (කෙල) වැඩි වූ විට ගිලීම පහසු වෙයි. දන්තපථ බැඳීම අඩු වෙයි.

එමඟින් දත් දිරීම, දන්ත කුහර ඇතිවීම වළකී. විදුරුමස්වල සුවසෙත ද සුරැකෙයි. ඛේඨයේ බැක්ටීරියා, වයිරස්, දිලීර සමඟ සටන් කරන ද්‍රව්‍ය අඩංගුය.

ගැළපීම නොගැළපීම තීරණය වෙයි. හාදු දීම ගැළපෙනවා නම් දෙදෙනකු බොහෝ දුරට සර්වප්‍රකාරයෙන්ම වගේ ගැළපෙන යුවළකි. ඛේඨයේ ටෙස්ටොස්ටෙරෝන් හොර්මෝනය නම් ලිංගික හෝර්මෝනය අඩංගු අතර එමඟින් ලිංගික තෘප්තිමත් බවට ද මඟ පෑදෙයි.

2019/02/06 තරුණි පුවත්පත බලන්න.