ඊස්ට්‍රජන් හෝර්මෝනය වැඩිකර ගැනීමට නම්

පෙබරවාරි 6, 2019

මිනිස් සිරුරෙන් නිපදවෙන හෝර්මෝන ශරීරය මනාව පවත්වාගෙන යෑම කෙරෙහි නිරන්තරයෙන්ම රුකුලක් වෙයි. මේ අනුව කාන්තා ලාලිත්‍ය, රූ ස්වභාව, තාරුණ්‍ය පවත්වා ගැනීමට වැදගත්ම වන සාධකයක් වනුයේ කාන්තා හෝර්මෝනයි.

නිරෝගීබව පවත්වාගෙන යෑමටත්, නිරෝගී දරු පරපුරක් බිහිකිරීම සඳහාත් මෙම හෝර්මෝන අමිල සේවයක් ඉටුකරයි.

ජීවිත කාලය පුරාවටම සිරුර තුළ ක්‍රියාත්මකවන මෙම වැදගත් පදාර්ථය ජීවිතයේ විවිධ කාලවලදී තීරණාත්මක සාධකයක් ලෙසින් ක්‍රියාකරයි.

එනම් මල්වරයට පත්වන කාලයේදීත්, දරුඵල පතන සමයේදීත් ආර්තවාභාවයේ දීත් වැඩිපුර අවධානයට ලක් වේ.

කාන්තා හෝර්මෝන අතුරින් ප්‍රමුඛස්ථානයක් ගන්නා ඊස්ට්‍රජන් හෝර්මෝනය සිරුර තුළ නිපදවෙන ප්‍රධාන ස්ථාන කිහිපයක් පවතී. ඊස්ට්‍රජන් හෝර්මෝනය ඩිම්බකෝෂ තුළ නිපදවෙන බව බොහෝදෙනා දැන සිටියත් ඊට අමතරව ඇඩ්‍රිනල් ග්‍රන්ථියේත් ශරීර මේද ස්ථරයේත් ඊස්ට්‍රජන් නිෂ්පාදනය වේ.

ඊස්ට්‍රජන්වල ක්‍රියාව

මල්වරය සිදුවන කාලයේ දී ද්විතියික ලිංගික ලක්ෂණ පහළවීමට පටන් ගනියි. ඒ අනුව පියයුරු වැඩේ.

කිහිලි සහ ලිංගික ප්‍රදේශයේ රෝම වැඩීම ඇරඹේ. කලවා සහ තට්ටම්වල ඇති මාංස ප්‍රමාණය වැඩිවේ.

උකුළ පළල් වේ. කුරුලෑ ඇති කරයි. ඔසප් චක්‍රය ක්‍රියාත්මක කරවීමේ ප්‍රබල කාර්යය ද මේ සමඟින් සිදුවේ. ප්‍රජනක කාර්යයට ද ඉන් ලැබෙන රුකුල අතිමහත් ය.

ඊස්ට්‍රජන් හෝර්මෝනය අසමතුලිතවන කාරණා බොහෝ ය.

ඒ අතරින් හෝර්මෝන නිපදවන ග්‍රන්ථීන්ගේ රෝගී තත්ත්ව වැනි දෑ දුර්ලභ වනඅතර බොහෝවිට සිදුවනුයේ සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන පුරුදු නිසාවන වෙනස්වීම් ය. දීර්ඝ කාලයක් එබඳු දිවියක් ගත කිරීමෙන් නැවත යථා තත්ත්වයට පත්වීම අපහසු වේ.

කෘත්‍රිමව සකස් කරන ලද ඊස්ට්‍රජන් උපත්පාලන පෙතිවල අඩංගු වේ. එවිට ඩිම්බ නිපදවීම හා නිදහස් කිරීම අවහිර කරමින් උපත්පාලනය සිදු වේ.

 

2019/02/06 තරුණි පුවත්පත බලන්න.