පහසුවෙන් සුව කළ හැකි නමුත් ලාදුරු තවමත් අප අතරේ

පෙබරවාරි 13, 2019

කණ්ණාඩියෙන් අප බලන්නේ රුවෙහි සුන්දරත්වය නෙත් පුරා විඳින්නයි. ලබා උපන් රූපය පණ මෙන් ආරක්ෂා කිරීමට වැඩිපුරම වෙහෙසෙන්නේ කාන්තා පක්ෂය වුවත්, පිරිමින් ද කඩවසම් පෙනුම ගැන සැලකිලිමත් නොවෙනවාම නොවෙයි.

සුන්දරත්වය වඩාත්ම ඔප් නැංවෙන්නේ කෙනෙකුගේ මංගල දිනයේදීය. සුදු අසු පිට නැඟ මංගල රථයක ගමන් කිරීමට සිහින මවමින් පිළියෙල කරගත් මංගල ඇඳුම සමඟින් යළි පැමිණිය නොහැකි තැනකට ගිය ඇත්තන් මීට කලකට පෙර ජීවත් වුණේය. කෙනකුට යළි පැමිණීමට නොහැකි තැන සොහොන් බිම වුව ද මෙතැන ඊට ද වඩා භයානකය. මෙසේ ගියේ ලාදුරු රෝගයෙන් පීඩා විඳි අයයි. ඔවුන් ගිය තැන හැඳල ලාදුරු රෝහලයි.

එහෙත් දැන් අප ජීවත්වන්නේ විසි එක් වැනි සියවසේය. තවදුරටත් ලාදුරු රෝගියකුගේ රුව මිහිමතට බට විරූපී අවතාරයක් හා සමාන වන්නේ නැත. එසේ වන්නේ ලාදුරු ලකුණු මුල් කාලයේම හඳුනාගෙන ප්‍රතිකාර ගත් විටය.

ලාදුරු පහසුවෙන්ම අපේ රටින් මුලිනුපුටා දැමිය හැකි රෝගයකි. එහෙත් සමාජයේ මුල් බැසගත් මිථ්‍යා මත රාශියක් නිසාත්, නොසැලකිල්ල නිසාත්, නොදැනුවත්කම නිසාත් තවමත් අප අතර රෝගය පවතී.

* ලාදුරු හා බැඳි මිථ්‍යාවන්

ලාදුරු ඉතා පහසුවෙන් බෝවෙන රෝගයකි. තවමත් බොහෝ දෙනකු සිතා සිටින්නේ ලාදුරු උණ සෙම්ප්‍රතිශ්‍යාව මෙන් පහසුවෙන් බෝ විය හැකි රෝගයක් බවය. එහෙත් වැඩිහිටියන් සියයට 95 කට ලාදුරු බැක්ටීරියාව (මයිකොබැක්ටීරියම් ලෙප්රේ) විනාශ කිරීමට තරම් ප්‍රබල ප්‍රතිශක්තියක් හිමිය.

* ලාදුරු නිසා දෙපා සහ අත්වල ඇඟිලි වැටෙයි: ලාදුරු දෑඟිලි, පා ඇඟිලි වැටීමට හේතු වන්නේ නැත. බැක්ටීරියාවෙන් පාදයේ සහ අතේ ඇඟිලිවල ස්නායුවලට එල්ල වන බලපෑමෙන් ඒවා හිරි වැටෙන තත්ත්වයට පත් වෙයි. මෙවිට කැපීමක්, පිලිස්සීමක්, තුවාලවීමක් සිදු වුණත් හිරිවැටීම නිසා ඒ කිසිත් නොදැනී යයි. එවිට ආසාදන ඇති වී ස්ථිරව හානි වී පුරුක් ගැල වී යයි. මෙසේ වන්නේ රෝගය උග්‍රවන තුරුම ප්‍රතිකාර නොකළ විටය.

* මෙය පාපයක් සාපයක් නිසා ඇති වන්නක් වෙයි.

ලාදුරු ඇතිවන්නේ මයිකොබැක්ටීරියම් ලෙප්රේ නිසාය. සාපයක් හෝ වැරැදි හැසිරීම් රටාවක් නිසා නොවෙයි.

* ලාදුරු රෝගීන් සාමාන්‍ය නිරෝගී ජනතාවගෙන් ඈත් වී වෙනම දිවි ගෙවිය යුතුය.

මෙය ද අතීතයට එක් වූ මිථ්‍යාවකි. රෝගයට දෙන ප්‍රතිජීවක ඔසු කලට වෙලාවට නියමිත මාත්‍රාවෙන් ගත් විට පවුලේ සාමාජිකයන් සමඟ සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කිරීමට මොවුනට හැකිය. පාසල් සිසුවකුට වුවත් වැඩිහිටියකුට වුවත් සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කළ හැකිය.

* රෝගියකු අසළ සිටීම පවා රෝගය වැලඳීමට හේතු වෙයි. රෝගියකුට අතට අත දුන්නාට, ළඟින් වාඩි වී සිටියාට, කතා බහ කළාට රෝගය බෝ වන්නේ නැත.

* ලාදුරු ඖෂධ ගත්ත ද සුව කළ නොහැකියි. ප්‍රතිජීවක මඟින් ලාදුරු සම්පූර්ණයෙන් සුව කළ හැකියි.

* ප්‍රතිකාරගෙන අවසන් වනතුරුම රෝගය බෝවීමේ අවදානම පවතී. රෝගියා ප්‍රතිජීවක ඖෂධ ගෙන දින කිහිපයකදී රෝගය අන් අයට බෝවීම වළකියි. එසේ වුව ද රෝගියා තමන්ට රෝගය මුළුමනින්ම සුවවීම සඳහා වෛද්‍යවරයා නිර්දේශ කළ කාලය පුරාම ප්‍රතිකාර ගත යුතුයි. නැවත රෝගය නොවැලඳෙන්නේ එවිටයි.

ලාදුරු ගැන ඇති මිථ්‍යා මත දුරලීම රෝගය මුලිනුපුටා දැමීමේදී ඉතා වැදගත්වේ.

* රෝග ලක්ෂණ හඳුනා ගන්න.

1. සමෙහි ලා පැහැති රතු හෝ තඹ පැහැති ලප හට ගැනීම.

2. ඒ ලප මත දැනීම, ස්පර්ශය හා වේදනාව අඩුවීම, දහදිය නොදැමීම. සමෙහි රෝම හට නොගැනීම.

ලාදුරු රෝගියකුට පහත ලකුණු එකක් හෝ කිහිපයක් තිබිය හැකියි.

1. ස්නායු ආශ්‍රිතව සිදුවන ආසාදන තත්ත්ව නිසා ස්නායු ඝන වීම, වේදනාව සහ හිරි ගතිය.

2. ස්නායු ක්‍රියාකාරිත්වය අඩු වීම නිසා මාංසපේශි දුර්වල වීම.

රෝග ලක්ෂණ පහළ වූ සැණින් ප්‍රතිකාර නොගැනීමෙන්

1. අත් පා හිරිවැටීම

2. ඇඟිලි වකුටු වීම

3. වළලු කරෙන් පහළ පාදය පණ නැති වීම (පාදය එසවීමට නොහැකි වීම)

4. රෝගය ඇස්වලට තදින් බලපා ඇති විට නිදාගත් විටදීත් දෑස් විවෘතව පවතී.

මෙවැනි ලකුණු ඇති වුවහොත් වහාම ළඟම පිහිටි රජයේ රෝහලේ සමේ රෝග සායනයෙන් ප්‍රතිකාර පැතිය යුතුය. කෙළින්ම පෝලිම්වල නොසිට රොගීන්ට ප්‍රතිකාර ලබා ගත හැකිය.

ලාදුරු රෝගයට ප්‍රතිකාර ගැනීමට පමා වීම නිසා දෑසට, දෑතට, දෙපයට ආබාධ ඇති වෙයි. ලාදුරු ලකුණු ඇත්නම් ඒ තැන් ගැන අවධානය යොමු කරන්න. දෑස් රැකගන්න දිනපතා දෑස් කණ්ණාඩියෙන් බලන්න. සතියකට වරක් අඩි 20 දුර ඇති දෙයක් පැහැදිලිව පෙනේවිදැයි බලන්න. නිදා ගන්නා විට දෑස් වසා ගත නොහැකි නම් රෙදි කඩකින් වසන්න. මදුරු දැලක් භාවිතා කරන්න. එළිමහනට යනවිට අව් කණ්ණාඩි පලඳින්න.

දෑත් වියළීමෙන් ආරක්ෂා කිරීමට දිනපතා විනාඩි 20 ක් ඇල් ජලය බේසමක දැත් පොඟවන්න. මොයිස්චරයිසර් ආලේප භාවිත කරන්න. උණුසුම් යමක් ඇල්ලීමේදී ඝන රෙදි කෑල්ලක්, අත් වැස්මක් භාවිත කරන්න. කොසු, උදලු, ඉදල් ඇල්ලීමේදී ඒවායේ මිට රෙදි කැබැල්ලකින් අල්ලන්න.

පාද ද වියළීමෙන් රැක ගන්න. විනාඩි 20 ක් ඇල් ජලය බේසමකට පොඟවන්න. මොයිස්චර්රයිසර් ආලේප ගල්වන්න.

පාවහන් ගලවා යා යුතු ගැන්වලට උදෑසන හෝ සැඳෑ කාලයේ යන්න. හැකි නම් මේස් පලඳින්න. දිනපතා පාද පරීක්ෂා කරන්න. රතුවීම්, පැලීම්, ඉදිමීම්, ගල්තැලුම් ඇත්නම් වෛද්‍ය උපදෙස් පතන්න.

 

උපදෙස්

ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා චම්පා ජේ. අලුත්වීර