රෝගී වූ විට එක්ව ප්‍රතිකාර ගන්න...

පෙබරවාරි 20, 2019

සත්ත්ව සංහතියේ පැවැත්ම පවතින්නේ තම ප්‍රජාව බෝ කිරීම මතයි. එහෙත් මිනිසුන් මනසින් උසස් වීම නිසාම සෑම කාර්යයක දී ම යම් හික්මීමක්, පිළිවළක් ඇතිව ක්‍රියා කිරීම සිරිතයි. මේ නිසාම අනෙකුත් සියලුම කාර්යයන් මෙන්ම ලිංගික ක්‍රියාවලියේ දී ද එම හික්මීම පැවතිය යුතුය.

එහෙත් ඇතැම්විට ඇතැම් පුද්ගලයන්ගේ මනසේ හික්මීම අඩු වූ විට අවිශ්වාසදායක ලිංගික ක්‍රියාවන් සිදු කරයි. එහි අනිටු විපාකයක් ලෙස ලිංගාශි‍්‍රතව බෝවන රෝගයක හිමිකාරීත්වය දැරීමට ද සිදු වේ.

අද අපි කතා කරන්නේ ලිංගාශි‍්‍රතව බෝවිය හැකි තවත් රෝගයක් පිළිබඳයි.

පණු හොරි

මෙම රෝගය සෑදීමට හේතු කාරක වන්නේ ඉතා කුඩා පරපෝෂිත මයිටාවන් ය. එම මයිටාවන් සම තුළට ඇතුළු වී සිදුරු සාදා බිත්තර දැමීම සිදුකරයි. මෙම මයිටාවන් අල්පෙනෙති හිසකටත් වඩා කුඩා ජීවීන් විශේෂයකි.

පණුහොරි රෝගය සාදන මෙම මයිටාවන් විශේෂය රැඳෙන්නේ ... ලිංගික ප්‍රදේශය, අත්වල, ඇඟිලි කරු අතර, මැණික් කටුව සහ වැළමිට මත, කිහිළි ප්‍රදේශයේ, උදරය මත, පියයුරු මත, පාද හා වළලුකර මත, තට්ටම් ප්‍රදේශය ආදී ප්‍රදේශවලයි.

බෝවීම

* සමීප ශරීර සම්බන්ධතා හෝ ලිංගික සම්බන්ධතාවලින් පණු හොරි එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට බෝවිය හැකිය.

* මෙම මයිටාවන් ශරීරයෙන් පිටත වුවද පැය 72 ක් පමණ කාලයක් දක්වා ජීවත් විය හැකි බැවින් ඇඳුම්, ඇඳ ඇතිරිලි සහ තුවා මඟින් මෙම රෝගය ව්‍යාප්ත විය හැකිය.

රෝග ලක්ෂණ

* එම ආසාදනයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල තදබල කැසීමක් ඇතිවිය හැකිය. මෙම තත්ත්වය රාත්‍රී කාලයේ දී වැඩි වශයෙන් දැනෙයි. උණුසුම් ජලය ස්නානය කිරීමෙන් පසුව ද මෙම තත්ත්වය උත්සන්න වේ.

* කැසීම සහ රතු බිබිලි හෝ කුඩා පැල්ලම් ඇති විය හැකිය. මෙම තත්ත්වය කැසීමක් ඇති කරන 'එක්සීමා' වැනි වෙනත් රෝගයන්ට සමාන ස්වරූපයක් ගන්නා බැවින් වෙන්කර හඳුනා ගැනීම අපහසු වේ.

* එම ප්‍රදේශවල කැසීමෙන් ඇති වන සීරීම්වල, ඉදිමුමක් සහ දැවිල්ලක් ඇති වී සම කැඩී යා හැකිය.

* මෙකී රෝග ලක්ෂණ ඇති වීමට ආසාදනය ඇති වී සති 6 ක් දක්වා කාලයක් ගත විය හැකිය.

මෙය හඳුනාගැනීමට විශේෂිත වූ පරීක්ෂණයන් සිදු නොකළ ද සැලකිලිමත්ව සම පරීක්ෂා කිරීමෙන් වෛද්‍යවරයකුට පණුහොරි හඳුනා ගත හැකියි.

ප්‍රතිකාර

* පණුහොරි සඳහා සරල ප්‍රතිකාර ඇත. මේ සඳහා විශේෂිත ආලේපන, දියර හෝ ෂැම්පු වර්ග භාවිත වේ.

* ඔබට නැවත ආසාදනය වීම වැළැක්වීම සඳහා ඔබේ ඇඳුම්, ඇඳ ඇතිරිලි සහ තුවා සෙන්ටිග්‍රේඩ් 50 හෝ ඊට වැඩි උෂ්ණත්වයක් ඇති ජලයෙන් සේදීම සහ තද අව්වේ වේළීම සිදු කළ යුතුය.

* සාර්ථක ලෙස ප්‍රතිකාර ගත් පසුව ද කැසීම, සමේ බිබිළි සහ පැල්ලම් තවත් සති කිහිපයක් පැවතිය හැකිය. මෙම අවස්ථාවල දී කැසීම අඩු කිරීම සඳහා විශේෂිත ප්‍රති හිස්ටැමීන පෙති හෝ ආලේපන ද කැලමයින් වැනි ප්‍රති උද්දීපක දියර ද භාවිත කළ හැකිය.

* රෝග ලක්ෂණ කිසිවක් නොතිබුණ ද ඔබේ ලිංගික සහකරු සහ නිවෙසේ සිටින සමීප සබඳකම් ඇති අය ද ඔබ ප්‍රතිකාර ගන්නා අවස්ථාවේ දී ම ප්‍රතිකාර ගැනීම සඳහා යොමු විය යුතුය.

ට්‍රයිකොමොනයසිස්

ට්‍රයිකොමොනයසිස් යනු සුව කළ හැකි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයකි. ට්‍රයිකොමොනාස් වැජයිනාලීස් යන ප්‍රොටොසෝවා වර්ගයට අයත් ඒක සෛලික ජීවියෙක් මඟින් රෝගය ඇති වේ. මෙම ජීවියා මඟින් යෝනි මාර්ගය, මුත්‍රා මාර්ගය හා පිරිමින්ගේ ලිංගා චර්මය (පෙරසම) ආසාදනය කළ හැකියි.

 

2019/02/20 තරුණි බලන්න.