තදට හිරට ඇඳුම් අඳින ඔබ මේ ගැනත් හිතන්න....

මාර්තු 13, 2019

ලෙඩ රෝග යනු මිනිසුන් වූ අපට නුහුරු නුපුරුදු තත්ත්වයක් නොවේ. නිසි ලෙස තම සෞඛ්‍යය රැක ගැනීමට හුරු පුරුදු වන්නේ නම් බොහෝ ලෙඩ රෝගවලින් වැළකී සිටීමට ඔබට හැකියාව ලැබේ. එහෙත් ඇතැම් රෝග පීඩා ඇතිවීම වැළැක්වීමට අපහසු ය. කෙසේ වෙතත් රෝගයක් අපට ගෙන දෙන්නේ සහනදායී බවක් නම් නොවේ.

ඒ නිසාම හැකි තරම් රෝග පීඩාදියෙන් දුරස් වී සිටීමට අපි කවුරු වුවත් කැමැත්තක් දක්වන්නෙමු.

ඒ අනුව තමාගේ සිරුරේ යම් කිසි වෙනසක්, රෝග ලක්ෂණයක් පවතී නම් එය කුමක්ද? ඒ සඳහා යොමු විය යුත්තේ කොතැනකටද යන්න මෙන්ම රෝග වැළඳුණු පසුව ක්‍රියා කළ යුතු ආකාරය වටහා ගැනීමට අපගේ මේ තොරතුරු දැක්වීම ඔබට වැදගත් විය හැකියි.

අද අපි ඔබට කරුණු දක්වන්නේ උල්ලෝගම් (candidiasis)ලෙස හැඳින්වෙන ලිංගාශි‍්‍රත රෝගය පිළිබඳයි.

උල්ලෝගම් යනු කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ හානි නොකරමින් පවතින 'යීස්ට්' නැමති දිලීරයක් නිසා හටගන්නා ඉතා සුලබ තත්ත්වයකි.

ඇතැම් විට මෙම යීස්ට් වැඩි වශයෙන් සෑදීම නිසා රෝග ලක්ෂණ ඇති විය හැකියි.

 

රෝග ලක්ෂණ කාන්තාවන්ට,

* යෝනි විවරය, යෝනි මාර්ගය සහ ගුද මාර්ගය වටා කැසීම, දැවිල්ල, ඉරි තැලීම් සහ රතු වීම ඇති වේ.

* මුදවාපු කිරි මෙන් ඉතා උකු, කැදලි සහිත යෝනි ශ්‍රාවයක් පිටවීම සිදු විය හැකිය.

* මුත්‍රා කිරීමේ දී හෝ ලිංගික සංසර්ගයේ දී වේදනාවක් ඇති වීමට ඉඩ ඇත.

 

 

පිරිමින්ට,

* පෙර සමට ඇතුළතින් හෝ ශිෂ්ණයේ අග කෙළවර වටා කැසීමක්, දැවිල්ලක් සහ ඉරි තැලීමක් ඇති විය හැකිය.

* ලිංගික ප්‍රදේශයේ සම රතු වීම හෝ ශිෂ්ණ මුණ්ඩයේ සම පුල්ලි සහිත පෙනුමක් ඇති වීම විය හැකිය.

* පෙර සමට යටින් ශ්‍රාවයක් ගැලීම හෝ ඉදිමීම සිදුවීමට ද ඉඩ ඇත.

 

බෝවීම

* උල්ලෝගම් තත්ත්වය ලිංගික සංසර්ගයක දී බෝවිය හැකි නමුත් එය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් ලෙස හඳුන්වන්නේ නැත.

* ඊට හේතුව ලිංගික සංසර්ගයකින් තොරව වුවද මෙම තත්ත්වය ඇති විය හැකි බැවිනි.

* උල්ලෝගම් තත්ත්වය ගර්භණී කාන්තාවන්, දියවැඩියා රෝගීන් සහ එච්.අයි.වී. ආසාදිත රෝගීන් අතර බහුලව දක්නට ලැබේ.

* උපත් පාලන පෙති භාවිතය උල්ලෝගම් තත්ත්වය ඇති වීමේ අවධානම වැඩි කරයි.

* ඇතැම් ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් හා ප්‍රතිශක්තීකරණ පද්ධතියට බලපාන රසායනික චිකිත්සා වැනි ප්‍රතිකාරවලට ලක් වීමෙන් ද මෙම තත්ත්වය ඇති විය හැකියි.

* තදට සහ හිරට ඇඳුම් ඇඳීම හා තෙත සහිත පරිසරය ද උල්ලෝගම් තත්ත්වය ඇති වීමට අවස්ථාව සලසයි.

* යෝනි මාර්ගය සඳහා භාවිත කරන විලවුන් සහ පෙණ නගින සබන් ද්‍රාවණ මඟින් යෝනි මාර්ගය තුළ දැවිල්ලක් සහ කැවෙන ගතියක් ඇතිකර උල්ලෝගම් තත්ත්වය ඇති වීමට ඇති අවදානම වැඩි කරයි.

 

2019/03/13 තරුණි බලන්න.