රාත්‍රියේ අතුරුපස ගැනිම භයානකයි

මාර්තු 20, 2019

ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා රාත්‍රි ආහාර වේලට පසුව කුමක් හෝ අතුරුපසක් ගන්න. ගොඩක් අය මේ සඳහා තෝරා ගන්නේ අයිස්ක්‍රීම්, පුඩිං, ජෙලි හෝ ක්ෂණික ආහාර වැනි කැලරි අධික ආහාර වර්ගයි. නමුත් මෙය සෞඛ්‍යාරක්ෂිත පුරුද්දක් නම් නෙවෙයි.

ඒ වෙනුවට සෞඛ්‍යාරක්ෂිත අතුරුපසක් ගැනීම නම් වරදක් නොවේ.

රාත්‍රී නින්දට සුළු මොහොතකට පෙර ලබා ගන්නා ආහාරවල බලපෑම නිසා ශරීරයේ බර වැඩි වෙනවා. මෙයට හේතුව වන්නේ නින්දේදි සිරුරේ පරිවෘත්තිය ක්‍රියාකාරකම්වල වේගය පහළ වැටීමයි. මේ නිසා නිදා ගැනීමට පැය තුනකටවත් පෙර රාත්‍රී ආහාරය ගෙන අවසන් කළ යුතුයි. ඉතින් රාත්‍රී ආහාරයට අමතරව කැලරි අධික අතුරුපස ලබා ගැනීමෙන් තත්ත්වය තවත් උග්‍ර වෙනවා.

නමුත් රාත්‍රී ආහාරය ගැනීමෙන් අනතුරුව අතුරුපසක් ගැනීමට කාලාන්තරයක් තිස්සේ හුරු වූ අයෙකුට මේ පුරුද්ද එකවර නවතාලිය නොහැකියි. එමෙන්ම තවත් සමහරුන්ට රාත්‍රී නින්දේදි කුසගිනි දැනෙනවා. මේ නිසා ඔවුන් නිදා ගැනීමට මෙහොතකට පෙර අතුරුපසක් ගැනීමට හුරු වී සිටිනවා. තවත් සමහරුන්ට රාත්‍රියේදී දැනෙන කුසගින්න ඔවුන්ව අවදි කර තබනවා. ඉතින් මෙවැනි ගැටලුවලින් පෙලෙන අය සදහා ඇති හොඳම විසඳූම තමයි මෙතරම් කලක් ලබාගත් සීනි සහිත අතුරුපස වෙනුවට සෞඛ්‍යාරක්ෂිත අතුරුපසක් ගැනීමට හුරුවීම.

පැණි රස ආහාරවලට හුරු වූවන්ට

පැණි රස ආහාර සඳහා හොඳම ආදේශකය පලතුරුයි. එක පලතුරක් හෝ පලතුරු වර්ග කීපයක් සමඟින් කජු යෙදු සැලඩ් වර්ගයක් වුවද ඔබට අතුරුපස ලෙස ලබා ගන්න පුළුවන්. නමුත් සැලඩ් සැකසීමේදී සීනි නොයෙදිය යුතුයි. ඔබට අවශ්‍ය නම් පැණි ස්වල්පයක් එකතු කිරීමේ වරදක් නැහැ. පලතුරුවල අඩංගු විටමින් සහ පෝෂක වර්ග සිරුරට උරා ගැනීමෙන් ඔබට රත්‍රියේදී සුවදායි නින්දක් ලැබෙනු ඇත. ආහාරයක් ඔබට අවශ්‍ය නම් චීස් සමඟ ධාන්‍යවලින් සැකසූ බිස්කට් කීපයකුත් ලබා ගන්න පුළුවන්.

එළවළු යොදා හෝ නොයොදා සැකසූ බිත්තර ඔම්ලට් එකක් ආහාරයට ගන්න. බිත්තර ප්‍රෝටීන් සහිත ආහාරයක්. එළවළු ලබා ගැනීමෙන් කුස පිරුණත් ශරීරයට එක්වන කැලරි ප්‍රමාණය අඩුයි.

කුරක්කන් පාන් සහ සැමන්වලින් සැකසූ සැන්ඩ්විච් එකක් නින්දට පෙර ආහාරයට ගැනීමත් සෞඛ්‍යාරක්ෂිතයි. සැමන්වල අඩංගු ප්‍රෝටීන් ඇතුළු පෝෂක වර්ග සිරුරට ශක්තිය එකතු කරවනවා. පාන් සකසා ඇත්තේ කුරක්කන් පිටිවලින් නිසා සිරුරට අහිතකර වන්නේත් නැහැ.

සෞඛ්‍යාරක්ෂිත රාත්‍රී අතුරුපස ලබා ගැනීමෙන් සිරුරට ශක්තිය ලැබී, ඔබේ ඊළග දවස ප්‍රබෝධමත්ව ආරම්භ කිරීමට හැකියාව ලැබෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍යාරක්ෂිත අතුරුපස ගැනීමේදී වුවද ලබා ගන්නා ප්‍රමාණය ගැන සැලකිලිමත් වන්න. රාත්‍රි නින්දට පෙර චීස් වැනි ආහාර වුවත් අධික වශයෙන් ගැනීම සුදුසු නැහැ. ක්‍රම ක්‍රමයෙන් ඔබ රාත්‍රියේදී ලබා ගන්නා කිරි යොදා සැකසිය හැකි ධාන්‍ය ස්වල්පයක් රාත්‍රී නින්දට පෙර ලබා ගැනීම අහිතකර නැහැ. ඕට්ස් වැනි ධාන්‍ය වර්ගයක් මේ සඳහා වඩාත් සුදුසුයි. මේවායේ අඩංගු තන්තු ප්‍රමාණය ඉහළ නිසා, ශරීරයේ බර වැඩි වන්නේ නැහැ. නමුත් මේවාට සීනි නොදා සිටීම වඩාත් හිතකරයි. මේ ආහාරයේ ඇති ප්‍රෝටීන් ඔබේ සිරුර පෝෂණය කර, ඔබට සුව නින්දක් ලබා දෙනවා. ඔබට ඕට්ස් පලතුරු හෝ මී පැණි ස්වල්පයක් සමඟ වුවද ආහාරයට ගන්න පුළුවන්.

අයිස්ක්‍රීම් කෑමට හුරු වූවන්ට එය මඟහරවා ගත හැකි පහසු ක්‍රමයක් තිබෙනවා. ඒ තමයි යෝගට්. යෝගට්වල රස වැඩිකර ගැනීම සඳහාත් පැණි ස්වල්පයක් හෝ පලතුරු එකතුකර ගන්න ඔබට පුළුවන්.

ක්ෂණික ආහාරවලට හුරු වූවන්ට

රාත්‍රී ආහාරයෙන් පසු ක්ෂණික ආහාර ලබා ගැනීමට හුරු වී සිටින අය ඒ වෙනුවෙන් චීස් කැබැල්ලක් ආහාරයට ගැනීමට හුරුවීම සෞඛ්‍යාරක්ෂිත වෙනවා.

 

උපදෙස්

පෝෂණවේදී වෛද්‍ය

රේණුකා ජයතිස්ස

 

2019/03/20 තරුණි පුවත්පත බලන්න.