ලේ අඩුකමට එකම හේතුව ආහාරවල යකඩ අඩුවීම පමණක් නොවේ

මාර්තු 20, 2019

ලේ අඩුකම නැතිනම් විද්‍යාත්මකව හැඳින්වෙන රක්තහීනතාවය හෙවත් නීරක්තිය ඇතිකිරීමට තුඩුදෙන එකම හේතුව අප ගන්නා ආහාර තුළ යකඩ නම් මූල ද්‍රව්‍යමය පෝෂකය විරල වීම බව පොදු මතයයි.

එහි සැලකිය යුතු සත්‍යතාවයක් පැවතිය ද ලේ අඩුවීමට බලපාන තවත් හේතු ගණනාවක් තිබෙන බව දැනසිටිම අපට ප්‍රයෝජනවත්ය. මේ හේතු ගැන කතා කිරීමට පළමු ලේ අඩුකම යනු කුමක් ද? යන්න තේරුම් ගැනීම වැදගත්ය.

ලේ අඩුකම ඉංගී‍්‍රසියෙන් හැඳින්වෙන්නේ ‘ඇනීමියා’ ලෙසය. එය පෝෂණ ඌනතා රෝග ගණයට වැටෙයි.

එය මෙසේ නිර්වචනය කළ හැකිය. රුධිර (ලේ) තරලය තුළින් ශරීරයේ සියලු අවයව වෙත ඔක්සිජන් ගෙනයන යකඩයෙන් පෝෂිත ප්‍රෝටීනයක් වන හිමොග්ලොබීන් සහිත රතු රුධිර සෛල ප්‍රමාණය අසාමාන්‍ය ලෙස අඩුවීමක් ලෙස නීරක්තිය හැඳින්විය හැකියි. හිමොග්ලොබීන් යන වචනය සෑදී ඇත්තේ ද “හීමෝ - යකඩ” සහ ග්ලොබීන් - ප්‍රෝටීන” යන වචන දෙන එක්වීමෙනි.

රුධිර තරලය තුළ රතු රුධිර සෛල ප්‍රමාණය සහ ඒ හා සමඟම හිමොග්ලොබීන් ප්‍රමාණය අඩුවීම නිසා ශරීරයේ විවිධ ඉන්ද්‍රිය, අවයව හා සෛල කරා ඔක්සිජන් වායුව ලැබීමේ හිඟයක් ඇතිකරයි.

වෙහෙස මහන්සිය දැනීම, උත්කෝපතාව හෙවත් නොසන්සුන් බව මෙන්ම දුබල, දුර්වල බවක් දැනීම ද මෙම තත්ත්වය උදාකරන අසුබ පලවිපාක අතර ඉදිරියෙන් සිටියි.

නීරක්තිය සතු රෝග ලක්ෂණ සහ නිමිති පුළුල් ලෙස සැලකුවහොත් කරකැවිල්ල, ව්‍යාකූලබව, ඇවිදීමේ අපහසුව (අසමතුලිත බව) හෘදයේ ගැස්ම වැඩිවීම, සුදුමැළිබව, හුස්ම ගැනීමේ අපහසුව, හුස්ම ගැනීමේ වේගය ඉහළ යාම, ඉවසීමේ අපහසුව, ලිංගික දුබලතාවය, නින්ද ලැබීමේ අපහසුව, පස්, මැටි, දූවිලි, කඩදාසි, අයිස් යනාදිය කෑමට පි‍්‍රයතාව ඇතිවීම යනාදිය දැක්විය හැකිය. එහි ඉදිරි ප්‍රතිඵල ලෙස අධික වෙහෙසක් ගැනීම, මතකය අඩුවීම, අවධානය යොමුකළ නොහැකිවීම, හෘද අකරණය, මානසික බිඳවැටීම, ශාරීරික දුර්වලතා යනාදී සෞඛ්‍යය ගැටලු රාශියකට මඟ හෙළි කරයි. එසේම පිළිකාව, ආහාර මාර්ගය තුළ ගැටලු සහ රුධිරගත රෝගයන්හි පසුබිම් ලක්ෂණයන් ලෙස ද නීරක්තිය මතුවිය හැකිය.

සමහර ලේ අඩුවීමේ හේතු පරම්පරාවෙන් නැතිනම් ජානමය වශයෙන් ඇතිවෙයි. එහෙත් වැඩිහිටි අප තුළ මතුවන නීරක්තියට බලපාන හේතු රැසකි. බොහෝවිට නීරක්ති තත්ත්වය නම් කරනුයේ ද අදාළ හේතුව මුල්කරගෙනය. ඒ අතරින් කිහිපයක් මෙසේය.

හිංසක නීරක්තිය (පර්නීසියස් ඇනීමියාව)

මෙය ඉතා විරලව දැකිය හැකි ස්වයං ප්‍රතිශක්තිමය රෝගයකි. එයට මුල්වන්නේ බී - 12 විටමිනය හෙවත් සයනකොබ්ලඩීන් නම් පෝෂකය ඌන වීමය.

මෙම තත්ත්වය ඇතිවීමට මුල්වන්නේ “නිසඟ සාධකය” ලෙස හැඳින්වෙන ආමාශය ස්‍රාවය කරන ප්‍රෝටීනයන්හි ඌනතාවය හේතුකරගෙනය. බී-12 විටමිනය අවශෝෂණය කරගැනීමට නිසඟ සාධකය (ඉන්ට්‍රින්සික් ෆැක්ටර්) අවශ්‍යය. ප්‍රතිකාරයක් ලෙස බී-12 විටමිනය ලබාදීම තුළින් මෙම නීරක්ති තත්ත්වය ජයගත හැකිය.

යකඩ ඌනතා නීරක්තිය

ලොව පුරා කාන්තාවන් වැඩි දෙනෙක් පෙළන නීරක්තිය තත්ත්වයට හේතුව වන්නේ යකඩ ඌනතා නීරක්තියයි.

තමන් ගන්නා ආහාර තුළ යකඩ පෝෂකය අඩංගු ආහාර නොතිබීම එම ආහාර තුළ අඩංගු යකඩ පෝෂකය උරාගැනීමට නොහැකිවීම මෙන්ම ඒවා උරාගැනීමට බාධා කිරීම් ඇතිවීම් නිසා මෙම ගැටලුව වෙයි. මස් (පීකුදු ඇතුළුව) සහ මාළු වැඩිපුරම යකඩ අඩංගු ආහාරය. ඒවායේ ඇතුළත් යකඩ ශරීරය තුළට හොඳින් උරාගැනීම (අවශෝෂණය) කෙරේ..පලාවර්ග, පලතුරු, බිත්තර ආදී ආහාර මඟිනුත්, බාහිරව යකඩ එකතු කළ ආහාර මඟිනුත් ශරීරයට අවශ්‍ය යකඩ සපයා දෙයි. එළවළුවලට විටමින් සී හා අම්ල (දෙහි, සියඹලා, බිලිං) ආදිය එක්කිරීම නිසා යකඩ උරාගැනීම ඉහළ දැමීමට පුළුවන.

එසේ නොමැති නම් යකඩ අත්‍යවශ්‍ය වන ජනගහන කණ්ඩායම්වලට යකඩ මිශ්‍රණ හා පෙති ලබාදීම මඟින් ද නීරක්තිය ජයගැනීමට පුළුවන. ගර්භණී මවුවරුන්, කිරිදෙන මවුවරුන්, යොවුන් දියණියන් හා වැඩිහිටියන් හට යකඩ අඩංගු පෙති ලබාදීම මෙයට උදාහරණයකි.

 

2019/03/20 තරුණි පුවත්පත බලන්න.