වාතය කිපිලා කොන්ද රිදෙනවා

මේ වේදනාවෙන් මිදෙන්නේ කොහොමද ?
මාර්තු 27, 2019

කොන්දේ වේදනාව නිසා පීඩාවට පත්වූවකු නොමැති තරම් ය. ගැහැනු, පිරිමි භේදයක් නැතිව ජීවිතයේ කොයිම අවස්ථාවකදී හෝ කොන්දේ වේදනාව කෙනෙකුට ඇතිවීමට පුළුවන.

ඕනෑම පුද්ගලයන් දසදෙනකුගෙන් නමදෙනකුම ජීවිතයේ කුමන හෝ අවස්ථාවක දී කොන්දේ වේදනාවෙන් පෙළෙන අතර දසදෙනකුගෙන් පස්දෙනකු සෑම වසරකදීම මෙම රෝගයට ගොදුරු වේ.

කටීශූල (Backache)
 

කොන්දේ කැක්කුම තුනටියේ කැක්කුම... ආයුර්වේදයේ දැක්වෙන්නේ 'කටී ශූල' නමින්. කටී යනු කොන්දයි. මාංස පේශියක බලපෑමක්, ස්නායුවක ගැටලුවක්, ඒ ආශ්‍රිත අස්ථි සන්ධිවල බලපෑමක් නිසා කොන්දේ කැක්කුම ඇතිවිය හැකිය. ඒ හැරුණු විට අග්න්‍යාශය, පිත්තාශය, අක්මාව, බඩවැල් යන අභ්‍යන්තර ඉන්ද්‍රීයයන්ගේ රෝග තත්ත්ව නිසා ඇතිවන වේදනාවන් ද තුනටිය ප්‍රදේශය කරා ඒම නිසා කොන්දේ වේදනාවන් හට ගනියි.

තුනටිය වේදනාව යනු කොන්දේ යටි පෙදෙසින් ඇතිවන වේදනාවයි. කොන්දේ වේදනාවන් අතුරින් සුලභව ඇත්තේත් තුනටිය වේදනාවයි.මෙය ඇතිවන කාලසීමාව මත තීව්‍ර සහ කාලීන ලෙස වර්ග කරයි. සති 0 - 6 දක්වා කාලය වේදනාව නොපැහැදිලි කාලයයි. සති 6 - 12 දක්වා තීව්‍ර කාලයයි. සති 12 ට වැඩිකාලයක් පවතින වේදනාව කාලීන වේදනාවක් ලෙස ද හඳුන්වයි. කොන්දේ කැක්කුම වැඩිපුරම පවතින්නේ මාංසපේශි සහ ඒ ආශ්‍රිත වේදනාවන් නිසායි. එය බොහෝවිට රෝගයක් නොවේ නම් ඉබේම මගහැරි යාවි. තද පහරක් ගසනවා වැනි කැක්කුම, දැවිල්ල සමඟ කැක්කුම.... මේ ආදී ලෙසින් මතු වේ.

ඉක්මන් ප්‍රතිකාර අවශ්‍යයි

පහත ලක්ෂණ සමඟ ඇතිවන කොන්දේ වේදනාව ඇත්නම්

* කොන්දේ වේදනාව සමඟින් මලමුත්‍ර පිටකිරීමේ දී අපහසුවක් දැනේ නම්

* නින්දට පවා බාධාවන අයුරින් කොන්දේ වේදනාව පවති නම්

* හදිසි අනතුරක් නිසා අස්ථි බිඳීයෑමක් වූයේ නම් එහිදී ඇතිවන කොන්දේ වේදනාව

* ඔස්ටියෝපොරෝසීස් තත්ත්වවලින් පෙළෙන්නන්ට කොන්දේ අමාරුව ඇත්නම්

* දණහිසෙන් පහළට විදුලියක් මෙන් දුවන වේදනාවක් ඇත්නම්

*කොන්දේ වේදනාව සමඟ උණ ඇත්නම්

* පිළිකා රෝගීන්ට ඇතිවන කොන්දේ වේදනාව (මින් පිළිබිඹුවන්නේ පිළිකාව අස්ථිවලට පැතිර ඇතිබව වීමට පුළුවන)

මෙවැනි අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් පැතීම ඉක්මන් කළ යුතුයි.

ඉහත කී අවස්ථා සාමාන්‍ය කොන්දේ කැක්කුම නොවන බව අවධාරණය කළ යුතුවේ.

වෛද්‍ය පරීක්ෂාවන්

* එක්ස් කිරණ පරික්ෂාව - මෙයින් ශ්‍රෝණිය හෝ කොඳු ඇට පෙළෙහි හැඩයේ අසාමාන්‍යතා ඇත්නම් හඳුනාගත හැකි වේ.

* ඛ්ඊ ස්කෑන් පරීක්ෂාව - ශ්‍රෝණි හැඩයේ අසාමාන්‍යතා හඳුනාගත හැකි වේ.

* ර්අධ් ස්කෑන් පරීක්ෂාව - ශ්‍රෝණි අස්ථිය වටා ඇති පේශි සහ කණ්ඩරා නිරීක්ෂණය කළ හැකිවේ.

රුධිර පරීක්ෂණ - ප්‍රදාහයක් හෝ රුමැටොයිඩ් ආතරයිටීස් ඇත්නම් එය තහවුරු කරගත හැකිවේ. බටහිර මතයට අනුව මාංස පේශීවල තෙරපීම මාංස පේශිවල ගැස්ම හා මාංසපේශිවල සමබරතාව නැතිව යෑම කොන්දේ වේදනාවට හේතු වේ.

2019/03/27 තරුණි පුවත්පත බලන්න