රස කැවිලි ගන්නාවිට අවදානම් ලකුණු තිබේදැයි බලන්න

අප්‍රේල් 3, 2019

වර්තමානය වන විට ශ්‍රී ලංකාව මුහුණපා ඇති ප්‍රධානතම සෞඛ්‍යය ගැටලුව වන්නේ බෝ නොවන රෝගවලට අපේ ජනතාව ශීඝ්‍රයෙන් ගොදුරු වෙමින් සිටීමයි.

බෝ නොවන රෝගවලින් ජනතාව බේරා ගැනීම දැන් මෙරට සෞඛ්‍යය අංශවලට එල්ලවූ විශාලතම අභියෝගයයි. ඒ අභියෝගය ජය ගන්නට දැන් සෞඛ්‍යය අමාත්‍යංශය වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවමින් සිටිනවා.

එම වැඩසටහන් අතරට අලුතින්ම එක් වූයේ රසකැවිලිවල අඩංගු වන සීනි, ලුණු, සහ මේද ප්‍රමාණය හා එහි අවදානම හුවා දැක්වෙන වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වා දීමයි.

අප්‍රේල් මස දෙවැනිදා පටන් ක්‍රියාත්මක කෙරෙන මේ වර්ණ සංකේත ක්‍රමය බිස්කට් ටොෆ,ි චොක්ලට්, කේක් වැනි රසකැවිලි නිෂ්පාදකයන් විසින් සිය නිෂ්පාදන අඩංගු දවටනවල පාරිභෝගිකයන්ට හොඳින් පෙනෙන පරිදි සටහන් කරනු ලැබ තිබීම අනිවාර්යයයි. එසේ සංකේත හා රසකැවිලිවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය සඳහන් නොකළ ලේබල සහිත නිෂ්පාදන අලෙවි කිරිම අප්‍රේල් මස දෙවැනිදා පටන් සපුරා තහනම්.

ඒත් වෙළෙඳ පොළෙන් මිලදී ගන්නා ආහාර පාන ඒවායෙහි අඩංගු වන සීනි, ලුණු සහ තෙල් ප්‍රමාණ ගැන දැන ගන්නට හැකි නිසි තොරතුරු මෙතෙක් අපේ රටේ බොහොමයක් නිෂ්පාදනවල සටහන් වුණේ නෑ. බෝ නොවන රෝගවලින් ජනතාව බේරා ගැනීමේ අරමුණෙන් සෞඛ්‍යය අමාත්‍යංශය මඟින් මෙරට නිෂ්පාදිත සියලුම පැණි බීම වර්ග සඳහා වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වාදෙනු ලැබුවේ 2016 වසරේදී. ඒ අනුව සීනි වැඩි බීම වර්ග සඳහා රතු වර්ණය හෙවත් අවදානම් බව හඟවන සංකේතයද මධ්‍යම ප්‍රමාණය සඳහා කහ වර්ණයද, සුදුසු මට්ටම සඳහා කොළ වර්ණය ද පැණි බීම සඳහා හඳුන්වා දෙනු ලැබූවා.

බොහෝ මවුවරුන් තිබහට වතුර වෙනුවට කුමක් හෝ පැණි බීමක් හෝ රස කළ කිරි පැකට්ටුවක් ළමයින්ට ලබාදෙන්නට හුරු වී සිටිනවා. එවන් දරුවන්ට මෙන්ම අම්මලාටත් බෝ නොවන රෝග අවදානමෙන් මිදෙන්නට එලෙස හඳුන්වාදුන් වර්ණ සංකේත ක්‍රමය ප්‍රයෝජනවත් වී තිබෙනවා. 2016 එම නීතිය හඳුන්වා දුන් පසුව සිදු කළ සමීක්ෂණයකින් පසු 2017 වසරේදී සෞඛ්‍යය අමාත්‍යංශය මඟින් හඳුනාගනු ලැබූයේ පැණි බීම මිලදී ගන්නා පාරිභෝගිකයන්ගෙන් 50% කට වඩා පිරිසක් වර්ණ සංකේත පිළිබඳ විමසිලිමත් වන බවයි. එහි වඩාත්ම යහපත් ප්‍රතිඵලය වූයේ පැණි බීම මිලදී ගන්නා පාරිභෝගිකයන් අතරින් 37%ක් ළමයින් වර්ණ සංකේතය බලා බීමට සුදුසු පැණි බීම මිලදී ගන්නට තරම් ප්‍රඥාවන්තයන් වී තිබීමයි. පැණි බීමවලට හඳුන්වා දෙන ලද වර්ණ සංකේත ක්‍රමයෙහි සාර්ථකත්වයද සලකා බලමින් මෙවර බිස්කට් ඇතුළු අනෙකුත් රස කැවිලි සඳහා ද වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වා දුන් බවයි සෞඛ්‍යය අමාත්‍යංශයේ පාරිසරික වෘත්තීය සෞඛ්‍යය සහ ආහාර සුරක්ෂිතතා ඒකකයෙහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සපුමල් ධනපාල මහතා පවසන්නේ.

“බිස්කට්” අද අපේ රටේ ළමයින් අතර “පාන්” තරමටම ජනපි‍්‍රය කෑමක් බවට පත්වෙලා. වැඩිහිටියන් ලේසියෙන් පහසුවෙන් “පාන්” කන්නට පුරුදු වෙලා ඉන්නවා වගේම ළමයින්ටත් පොඩි බඩගින්නටත්, ලොකු බඩගින්නටත් අතුරු පසටත්, අමතර ආහාර වේලටත් බිස්කට් දීම ඇතැම් අම්මලාගේ පුරුද්දක් වෙලා.

හදිසියට බත ඉදෙන කල් නැත්නම් කිරි දෙන්න බැරි වෙලාවක ලේසියෙන්ම පහසුවෙන්ම දරුවාගේ කටේ බිස්කට් එකක් දමන අම්මලා ඕන තරම් ඉන්නවා. තේ වෙලාවට කේක් බිස්කට්, මස්කට්, ඩෝනට් වැනි අධික සීනි ලුණු සහ මේද සහිත කෑම ඇති තරම් කවලා ළමයින්ගේ බඩ පුරවන අම්මලා ඉන්නවා.

 

2019/04/03 තරුණි පුවත්පත බලන්න