අවුරුදු සමයේ තෙල් කෑම කල්පනාවෙන්

අප්‍රේල් 10, 2019

අපගේ සංස්කෘතිය අනුව සූර්ය මංගල්‍යය නැතහොත් සිංහල අලුත් අවුරුද්ද අපේ ජන ජිවිතයේ විශේෂම උත්සවයයි. ඉතින් මේ උත්සවයේදී කෑම බීමවලට විශේෂ තැනක් හිමි වෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

කැවුම්, කොකිස්, ආස්මී ආදී සිංහල කෑම වර්ග සාදා ළිපගිනි මොළවා නැකත් අනුව ආහාර අනුභව කිරීම චාරිත්‍ර අතර ප්‍රධාන තැනක් ගනු ලබයි. අප්‍රේල් මාසයේ අටුකොටු පිරී කෑම බීම පිරී ඉතිරී යන ස්වයංපෝෂිත කාලවකවානුවකයි සූර්ය මංගල්‍යය පවත්වනුයේ. සිංහල චාරිත්‍ර අනුව ආහාර ගැඹුරු තෙලෙන් බැද සාදන නිසා බොහෝ ආහාර තෙල් සහිත වන අතර, සීනි සහිත පැණි රස ආහාර ද ඒ අතර වේ. කැවුම්, කොකිස්, කේක්, අග්ගලා, ආස්මී, වැලිතලප, අලුවා, පැණි වළලු ආදී මේ සියල්ල තෙල්, පිටි සහ සීනි අධික ආහාර වර්ගයන්ය.

මෙලෙස අධික සීනි හා තෙල් ප්‍රමාණයක් තිබීම හේතුවෙන් දියවැඩියා රෝගීන්ට හා තරබාරු අයට මේ ආහාර සුදුසු නොවේ. නමුත් දියවැඩියා රෝගීන් මේ ආහාර අවුරුදු සමයේ ආහාරයට ගතහොත් ඊළඟ ආහාර වේල එළවළු, පලතුරු වැඩිපුර දමා පිළියෙල කරගත් ආහාර ලබාගන්න කල්පනාකාරි වන්න. එසේම බත් වෙනුවට සැහැල්ලු ආහාර වන පාන් පෙත්තක් වැනි දෙයක් එළවළු සමඟ අනුභව කළ හැකියි.

තවද තෙල් සහිත ආහාර ද අඩුවෙන් ලබා ගත යුතුය. තරබාරු අය, හෘද රෝගීන්, කොලෙස්ටරෝල් සහිත රෝගීන්, දියවැඩියා රෝගීන් මෙලෙස ගැඹුරු තෙලේ බැද සාදන කැවුම්, කොකිස් වැනි අධික තෙල් සහිත ආහාර ගැනීමෙන් වැළකී සිටිම වැදගත් වේ.

 

උපදෙස් - ආහාර හා පෝෂණ විශේෂඥ වෛද්‍ය

සෙලී ප්‍රනාන්දු

2019/04/10 තරුණි බලන්න