දවසම ප්‍රබෝධවත් කරන උදේ ආහාරයක්

අප්‍රේල් 10, 2019

සතුටින් හා ප්‍රබෝධයෙන් දවස ගත කිරීමට ඇත්නම්. ඒ සඳහා පෝෂ්‍යදායී ආහාර බලපාන බව ඔබ දන්නා කරුණක් විය හැකිය. එවැනි ආහාර ගැනීම පුරුද්දක් කරගත් විට අනිවාර්යයෙන්ම සෞඛ්‍යමත්බව සුරැකෙනා බව අමුතුවෙන් කිව යුතු ද නැත. පෝෂණය හීන ආහාර, ආහාරවේල සඳහා තෝරාගැනීම නිසා ශක්තිය ඌන වනවා පමණක් නොව අස්ථි, සන්ධි හා පේශීවලට ද අහිතකර බලපෑමක් ඇතිකරයි.

වයසට යනවිට අපගේ ආහාර රුචිය පමණක් නොව ගන්නා ප්‍රෝටීන ප්‍රමාණය ද පහත වැටේ. මෙය වයස්ගතවූවන්ගේ අස්ථි, සන්ධි සහ පේශී සෞඛ්‍යයට පමණක් නොව සමස්ත සෞඛ්‍යයට ද බලපෑම් කළ හැකියි. එහෙයින් වයස කවරක් වුවත් පෝෂණය සපිරි ප්‍රෝටින්, කැල්සියම්, විටමින් ඩී සහ යකඩ වැනි පෝෂක ආහාරයෙන් ලබාගැනීම සෑහේ නම් එය සතුටෙන්, ප්‍රබෝධයෙන් පමණක් නොව සෞඛ්‍යමත්ව විසීමට ද මහත් උදවුවක් වනවා නිසැකය.

අප උදෑසන ආහාවලින් පටන් ගනිමු. ප්‍රෝටීන්, කැල්සියම්, ඩී විටමිනය ලබාගත හැකි අන්දමේ උදෑසන ආහාර වේලක් ගැනීමට ඔබට පුළුවන් ද?

ආහාර වේල තුළින් ප්‍රමාණවත් කැල්සියම් ප්‍රමාණයක් ශරීරයට නොලැබේ නම් ඇටවල තැන්පත්ව ඇති කැල්සියම් හූරාගැනීමට සිරුර සමත් වෙයි. එහි ප්‍රතිඵලය වනුයේ “ඔස්ටියෝපීනියාව“ නම් තත්ත්වයට පළමුවත්, “ඔස්ටියෝපොරෝසිස්“ නම් තත්ත්වයට ඉන්පසුවත් ඔබ පත්වීමය. මෙම රෝග තත්ත්වයන් කාන්තාවන් අතර වඩා සුලබ වූවත් වයස අවුරුදු 50 ඉක්මවූ පිරිමින් අතර ද එය දැකිය හැකිය. අස්ථි නිරෝගීතාවය සඳහා කැල්සියම් අත්‍යවශ්‍ය වුවද, ශරීරය තුළට කැල්සියම් අවශෝෂණය සඳහා විටමින් ඩී පැවැතීම අවශ්‍යය.

එහෙයින් ඔබගේ උදෑසන ආහාරවේල තුළින් මේ පෝෂක දෙකම ලබාගැනීමට කටයුතු කළයුතුය. උදාහරණයක් ලෙස ප්‍රෝටීන් ලබාගැනීම සඳහා ඔබ බිත්තර ඔම්ලට් එකක් සකස් කරන්නේ නම් එයට හතු, නිවිති, චීස් වැනි දෙයක් එක්කළ හැකිය. බොහෝ සකස් කළ ආහාර වර්ග, චීස්, බටර් මෙන්ම දොඩම් යුෂ ඇතුළු පලතුරු තුළ ද ඩී විටමිනයෙන් අධිපෝෂණය කර ඇත. මේ සියල්ලටම වඩා උදා ආහාරයෙන් පසු ළාහිරු රැස් සිරුරට වැටෙන සේ එළිමහනේ ඇවිදීම වුව ප්‍රයෝජනවත් වනුයේ එමඟින් සිරුරට විටමින් ඩී උරාගැනීමට ඉඩ සැලසෙන හෙයිනි.

 

 2019/04/10 තරුණි බලන්න