ආඝාතය කියා වරද්දවා ගන්නා රෝග ලකුණු

අප්‍රේල් 10, 2019

ජීවිතයේ සිදුවන අත් වැරැදීම් බොහොමයක් නිවැරැදි කරගත හැකිය. එහෙත් රෝගයක් වරදවා වටහා ගත් විට එය ප්‍රතිකාර මඟින් නිවැරැදි කර ගැනීමට අවස්ථාවක් නොලැබීමට ද පුළුවන. ආඝාතය එසේ වරදවා වටහා ගන්නා රෝග තත්ත්වයකි.

කෙසෙල් ගසක් කපා දමන්නාක් මෙන් හොඳින් කතාබහකර ඇවිද ගිය මිනිසා බිමටම ඇද දමන රෝග අතරින් ආඝාතය ප්‍රමුඛස්ථානයක් ගනී. වෙනත් බොහෝ රෝග මෙන් මේ රෝගය ද දුරදිග යන්නේ අප රෝග ලකුණු කලට වේලාවට නිවැරැදිව හඳුනාගෙන ප්‍රතිකාර නොකිිරීම නිසයි. ඊට ආඝාතය හා සමානවම රෝග ලකුණු පහළ වන වෙනත් රෝග ද බලපායි.

ඒ නිසා රෝග ලකුණක් ඇති වූ සැණින් අප කළ යුත්තේ තමන්ට ඇත්තේ ආඝාතය ද වෙනත් රෝගයක ලකුණක් ද කියා වෛද්‍යවරයකු හමු වී තහවුරු කර ගැනීමයි.

මීමැස්මොරය නැත්නම් වලිප්පුව මොළයට විදුලි කුණාටුවක් වැදීම හා සමානයි. ආඝාතයේදී මෙන් මෙහිදී ද හිරි වැටීම, ඉඳිකටු අනිනවාක් මෙන් දැනීම, අතේ හෝ පාදයේ දුබල බවක් දැනීම සිදු වෙයි.

තදබල මීමැස්මොර තත්ත්වයකින් පසු සිරුරේ එක පැත්තක් පණ නැතිවීමට පුළුවන. කතා කිරීමේ, පෙනීමේ ගැටලු මතු විය හැකිය. පැය භාගයක් වැනි කෙටි කාලයකින් හෝ පැය 36 ක් වැනි දිගු කාලයකින් මේ ලක්ෂණ නැති වී යාමට පුළුවන.

සමහර මිග්‍රේන් තත්ත්වවලදී ආලෝකය දෙනෙතට දරා ගැනීමට නොහැකි තරම් දීප්තිමත්ව පෙනීම හෝ බලන දේවල් සිග්සැග් හැඩයට පෙනීම සිදු වෙයි. කෙටි වේලාවකට පෙනීම නැති වී යාමට ද පුළුවන. අත්වල පාවල හිරිවැටීම ඉඳිකටු අනිනවාක් මෙන් දැනීම ද ඇති විය හැකි ලකුණුය. එපමණක් නොව වචන පැටලීමට ද ඉඩ තිබේ.

රුධිරයේ සීනි මට්ටම අඩු වීම හෝ වැඩි වීම හේතුවෙන් ද ආඝාත ලකුණු ඇති වෙයි. සිරුරේ එක් පැත්තක් සෙලවීමට නොහැකි බව දැනෙනු ඇත. කරකැවිල්ල, මුව වටා හිරිවැටීම, හිසරදය මෙවිට ඇතිවන ලකුණුය.

අධික රුධිර පීඩනය නිසා බලන දේ බොඳ වී පෙනෙයි. සිරුරට දුබල බවක් දැනේ.

මුහුණේ මාංසපේශි පාලනය කරන ස්නායුවලට හානි සිදු වූ විට එක්වරම මුහුණේ කොටසක වෙනසක් සිදුවීමට පුළුවන. මෙසේ ඇතිවිට මුහුණේ පැත්තක එල්ලා වැටීමක් ඇදවීමක් දැකිය හැකිය.

මොළයේ ගෙඩි ඇති විට ද ආඝාතයේදී මෙන්ම විවිධ ලක්ෂණ ඇති වේ. ආඝාතයේදී රුධිර කැටිය හිර වී නහරය පුපුරා මොළය තුළට ලේ යාමෙන් හෝ රුධිර නාල අවහිරවීමෙන් හානිවන පෙදෙස අනුව රෝග ලකුණු වෙනස් වෙයි. මොළයේ ගෙඩිය ද තිබෙන තැන අනුව රෝග ලකුණු වෙනස් වෙයි. අපේ මොළයේ එක් එක් පෙදෙස් විවිධ කාර්යයන් සඳහා සුවිශේෂීය. රුධිර ගමන අවහිරවීමෙන් හානිවන මොළයේ ප්‍රදේශය අනුව ඇතිවන රෝග ලකුණු වෙනස් වෙයි. මෙවිට ද හිසරදය, සිරුරේ සමබරතාව නැති වීම, කතා කිරීමේ, පෙනීමේ දුෂ්කරතා ඇති විය හැකිය. මතකය, මනසේ නිරවුල් බව අහිමි වී යාම ද හට ගත හැකි රෝග ලකුණුයි.

උපදෙස්

ස්නායු රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

එම්. ටී. එම්. රිෆ්සි

2019/04/17 තරුණි බලන්න