නිදහසේ හුස්ම ගන්න ක්ෂය රෝගෙට වැට බඳින්න

අප්‍රේල් 24, 2019

“අම්මෝ ඇති යන්තං නිදහසේ හුස්ම ටිකක් ගත්තා” අපට ඉබේටම මෙහෙම කියවෙන්නේ සිතට ගතට උපරිම සැනසිල්ලක්, සුවයක්, සහනයක් දැනුණු විටයි. එහෙත් මිනිසාට ජීවත්වීමට සිදු වී ඇත්තේ හුස්ම පොදත් සමඟ අනන්ත අප්‍රමාණ වූ විසබීජ ධාරාවක් ආඝ්‍රාණය වන ලොවකයි. වාතයේ ඇති විසබීජ අතරින් ක්ෂය රෝග විසබීජය ප්‍රමුඛස්ථානයක් ගන්නවා.

2018 වසරේ වාර්තාවන්ට අනුව අපේ රටේ අලුතින්ම ක්ෂය රෝගීන් 8258 ක් සිටිනවා. ඉන් 5827 ක් පෙණහලු ආශ්‍රිත ක්ෂය රෝගයෙන් පීඩා විඳිනවා. මෙතෙක් සොයාගත් ක්ෂය රෝගීන්ගෙන් සියයට හතළිහක්ම හමු වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. ඉන් සියයට විසිපහක්ම කොළඹ දිස්ත්‍රික්කයේම පදිංචි පුද්ගලයන්.

කරුණු කෙසේ වුවත් අපි අපේ හුස්ම ගැන සිතන්නේ නැහැ වාගේම ක්ෂය රෝගය ගැනත්, ක්ෂය රෝගයෙන් වැළකීම සහ නිසි ප්‍රතිකාර නොගත්තොත් සිදුවන මරණ ගැනත් කිසිදු අවධානයක් යොමු කරන්නේ නැහැ. වසරකට ඩෙංගිවලින් මිය යන ගණනට වඩා ක්ෂය රෝගයෙන් මිය යන ගණන වැඩියි. වසරකට ක්ෂය රෝගය වැලඳීමෙන් 400 - 500 ක් මිය යනවා. මේ මරණ වැඩි ගණනක් වළක්වා ගත හැකි මරණයි.

අප සෑම දෙනකුටම වාතයේ ඇති ක්ෂය රෝග විසබීජ ආශ්වාස වුණත් රෝගය වැලඳෙන්නේ ප්‍රතිශක්තිය අඩු අයටයි. අපේ රටේ වයස්ගත ජනගහනය වැඩිවීම, දියවැඩියා රෝගීන් ගණන වැඩිවීම ක්ෂය රෝගීන් ගණන වැඩිවීමට ප්‍රබල ලෙස බලපාලා. ඒ නිසා අන් කවර කාලයේදීටත් වඩා වැඩි අවධානයක් ක්ෂය රෝගය වෙත යොමු කරන්න සිදුවෙලා. වැඩිවන ළමා ක්ෂය රෝගීන් ගණන ක්ෂය රෝගය ගැන වෙනදාට වඩා අවධානයෙන් සිටිය යුතු බව අපට අඟවන තවත් රතු එළියක්. එනිසා අපි නිවැරැදිව ක්ෂය රෝගය හඳුනා ගනිමු.

ක්ෂය රෝගය කියන්නේ,

වාතය මඟින් බෝවෙන බැක්ටීරියාවකින් වැලඳෙන රෝගයක්. මෙය කිසිසේත්ම පරම්පරාගත රෝගයක් නොවෙයි.

රෝගය බෝවන්නේ,

ප්‍රතිකාර නොගන්නා, පෙණහලු ආශ්‍රිත ක්ෂය රෝගීන්, කහින විට, කිවිසුම් හරින විට, සිනාසෙන, කතා කරන විට ඔවුනගේ විසබීජ සහිත සෙම් බිඳිති වාතයට එකතු වෙනවා. මේවා ප්‍රතිශක්තිය හීන කෙනකුට ආස්වාස වූ විට රෝගය ආසාදනය වෙනවා. රෝගය වැඩි වශයෙන් වැලඳෙන්නේ පෙණහලු ආශ්‍රිතවය. එහෙත් සිරුරේ වෙනත් ඕනෑම ඉන්ද්‍රියක රෝගය ඇතිවීමට පුළුවන්.

රෝග ලකුණු

සති දෙකකට වැඩි කාලයක් පවතින කැස්ස, රාත්‍රී කාලයේ ඇතිවන මඳ උණ, ශරීරයේ බර අඩුවීම, රාත්‍රී කාලයේ අධික ලෙස දහදිය දැමිම, කෑම අරුචිය, සෙම සමඟ රුධිරය පිටවීම වැඩිහිටියන්ට ඇති විය හැකි ලකුණුයි.

සිඟිති දරුවන්ට, ළමයින්ට රෝගය ඇති වූ විට පෙන්නුම් කෙරෙන්නේ වෙනස්ම ලක්ෂණයි. අපේ මුළු ක්ෂය රෝගීන් ගණනින් සියයට හයක් පමණ ළමා රෝගීන්. මේ අයගේ රෝග ලක්ෂණ වෙනස්. වර්ධනය අඩුවීම වාගේ විවිධ ලකුණු ඇති වෙනවා.

ප්‍රතිකාර

වයස අවුරුදු පහට අඩු දරුවන්ට පවා ක්ෂය රෝග නිවාරණ ඔසු ලබා දිය හැකි නිසා පහසුවෙන්ම සුව කිරීමට පුළුවන්. ප්‍රතිකාර ගත් දරුවාගෙන් අනෙක් දරුවන්ට රෝගය බෝ නොවන නිසා පෙර පරිදිම පාසල් යාමට ද පුළුවන්.

ළදරු වියේදී ක්ෂය රෝගයෙන් ආරක්ෂා කිරීමට බීසීජී එන්නත ලබා දෙනවා. මවට ක්ෂය රෝගය තිබුණා නම් දරුවා ක්ෂය රෝගය සඳහා පරීක්ෂා කර රෝගය වැලඳී නැත්නම් එන්නත ලබා දෙනවා.

ගැබිනි මවට වුවත් ක්ෂය රෝග නිවාරණ ඔසු ලබා ගත හැකියි. ගර්භණී කාලයේ දරු ගැබට හානි නොවන ලෙස ක්ෂය රෝගය ඇත්දැයි බැලීමට හැකි ක්‍රම තිබෙනවා. ගැබ ආවරණය කර එක්ස්කිරණ පරීක්ෂණ සිදු කිරීමෙන් වැඩෙන කලලයට කිසිදු හානියක් වන්නේ නැහැ.

ප්‍රතිකාර පැතිය හැකි තැන්

රෝග ලක්ෂණ ඇති අයට ළඟම පිහිටි ළය රෝග සායනයට ගොස් නොමිලේ සෙම් පටල පරීක්ෂාවක් කරගැනීමට පුළුවන්. අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, කොළඹ, ගාල්ල, ගම්පහ, හම්බන්තොට, යාපනය, කල්මුණේ, කළුතර, මහනුවර, කෑගල්ල, කිලිනොච්චිය, කුරුණෑගල, මන්නාරම, මාතලේ, මාතර, මොණරාගල, මුලතිව්, නුවරඑළිය, පොළොන්නරුව, රත්නපුර, ත්‍රිකුණාමලය, වව්නියාව, පුත්තලම යන දිස්ත්‍රික්කවල ළය රෝග සායන පිහිටුවා තිබෙනවා.

ප්‍රතිකාර මාස හයක් දිනපතා ගැනීමෙන් නිට්ටාවටම රෝගය සුව කළ හැකියි. එහෙත් ප්‍රතිකාර පැහැර හැරියොත් රෝගය සුව නොවෙනවා පමණක් නොව අන් අයට රෝගය බෝ කරන්නකු බවට ද පත් වෙනවා. එනම් තම ආදරණීය පවුලේ සාමාජිකයන්ට ද ඒ අය තර්ජනයක් වෙනවා. එපමණක් නොව යළි කිසි දින සුව කළ නොහැකි බහුවිධ ඖෂධ ප්‍රතිරෝධී ක්ෂය රෝග තත්ත්වයට වුවත් ගොදුරුවීමට පුළුවන්.

රෝගය වැලඳීමට වැඩි ඉඩක් ඇත්කේ,

* දියවැඩියාව, ඇදුම වැනි පාලනය නොකළ නිදන්ගත රෝග ඇති අය

* එච් අයි වී ආසාදිතයන් සහ ඒඩ්ස් රෝගීන්

* අවයව බද්ධ කිරීම වැනි දිගුකාලීනව ප්‍රතිකාර ලබා ගත යුතු රෝග ඇති අය

* මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්වැටිවලට ඇබ්බැහි වූවන්

* මන්දපෝෂණයට ගොදුරු වූ අය

* වයස අවුරුදු පහට අඩු අය

* වියපත් අය

* මේ අයගේ ප්‍රතිශක්තිය හෙවත් රෝගවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව දුබල වන නිසා පහසුවෙන්ම රෝගයට ගොදුරුවීමේ ඉඩක් පවතිනවා.

* ලොව මිනිස් මරණවලට හේතුවන ප්‍රධාන කරුණු දහය අතර ක්ෂය රෝගයත් තිබෙනවා.

* එච් අයි වී ආසාදිතයන්ගෙන් වැඩි දෙනකු ක්ෂය රෝගයෙන් පීඩා විඳින අතර එනිසාම ක්ෂය රෝගීන් අනිවාර්යයෙන්ම එච් අයි වී සඳහා පරීක්ෂා කරනු ලබනවා. එසේ කරන්නේ රෝගියාගේ අනන්‍යතාව සුරකිමින් ඔහුගේ / ඇයගේ ජීිවිතය හැකි තරම් රැක ගැනීමටයි. එච් අයි වී ආසාදිතයන්ට ක්ෂය රෝගය පහසුවෙන්ම වැලඳෙන්නේ ඔවුන්ගේ ප්‍රතිශක්තිය බින්දුවටම පහළ බැස ඇති නිසයි.

* වසර 2025 ක්ෂය රෝගයෙන් තොර ලොවක් කිරීමට නම් අප සියලු දෙනාම ද අපේ හුස්ම පොද ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුය. හොඳින් වාතාශ්‍රය, හිරු එළිය වැටෙන, තදබදයක් නැති පරිසරයක ජීවත් වීම, සමබල ආහාර ගැනීම, ව්‍යායාම කිරීම, නිදන්ගත රෝග ප්‍රතිකාර ගෙන පාලනය කිරීම මඟින් ක්ෂය රෝගයට වැට බැඳිය හැකි පියවරයි. එලෙසම කසින, කිවිසින විට අනෙකාගේ සුවසෙතේ ආරක්ෂාව වෙනුවෙන් ලේන්සුවකින් හෝ ටිෂූ කඩදාසියකින් මුහුණ ආවරණය කිරීම, තැන තැන කෙළ නොගැසීම වැනි යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යාමත් ඉතා වැදගත්.

* රෝගී දරුවකු හෝ වැඩිහිටියකු ප්‍රතිකාර ගත් පසු සාමාන්‍ය නිරෝගී කෙනකුගේ තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා ඔහු/ඇය කොන් කිරීම කිසි විටකත් නොකළ යුත්තක්. ඉන් සිදුවන්නේ මෙබඳු රෝගීන් තම රෝගය ලොවට සඟවා ගෙන සිටීමට උත්සාහ කිරීමෙන් රෝගය වැඩි දෙනකුට බෝවීමට ඇති ඉඩකඩ වැඩිවීමයි.

* කොළඹ මධ්‍යම ළය චිකිත්සාගාරය කොළඹ 8, බේස්ලයින් පරේ පිහිටා තිබෙනවා. දු: අං: 0112675247.

* ස්වසන රෝග පිළිබඳ ජාතික රෝහල වැලිසර, රාගම පිහිටුවා තිබෙන අතර එහි දුරකතන අංකය වන්නේ 0112958271, 0112956702.

* ඔබට ක්ෂය රෝගය පිළිබඳ අවශ්‍ය ඕනෑම කරුණක් කොළඹ 05, නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ අංක 555/5 දරන ස්ථානයේ පිහිටි ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩ සටහනින් මේ දුරකතන අංකයෙන් දැනගත හැකියි. 0112368386.

 

උපදෙස්

ප්‍රජා වෛද්‍ය විශේෂඥ

මිසායා කාදර්, වෛද්‍ය ලක්මාල් රත්නායක සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.