ඔබ සිරුර නිසි ලෙස පවිත්‍ර කරනවාද?

මැයි 22, 2019

උදෑසනට රාජකාරියට දුවද්දී බොහෝ දෙනකුට හරියට මුහුණ කටවත් සේදුවාදැයි කියාවත් මතක නැහැ. කාලයත් සමඟ අරගලයක යෙදෙන අපේ කාලයේ අයට තමන් ගැන සිතීමට වෙලාවක් නැති තරම්.

කාර්යබහුලකමට අමතරව අලසකම නිසාත් සමහරු නිසි ලෙස සිරුර පවිත්‍ර කරන්නේ නැහැ. මේ කරුණු දෙකම නොවුණත් අවබෝධයක් නැතිකම නිසා සමහරුන්ගේ පෞද්ගලික සනීපාරක්ෂාව ඉතාමත් දුර්වලයි.

හානිකර, බරපතළ ලෙඩ රෝග ඇති කළ හැකි විසබීජ ගණනාවක්ම වැඩි දෙනකුට සිරුරේ මඟ හැරෙන තැන්වල රැඳෙන්නට පුළුවන්. මේ ඒ ස්ථානයි.

හිස් කබල් සම

හිස් කබලේ සම දිනපතා සේදීමට අවශ්‍ය නැහැ. එය අහිතකරයි. එහෙත් සෝදද්දී හොඳින් හිස් කබල අතුල්ලා සේදිය යුතුයි. ඒ මියගිය චර්ම සෛල එක් රැස් වීම වළක්වාලීමටයි. දූවිලි මැක්කන්, බැක්ටීරියා මියගිය සෛල මත පෝෂණය වීම එමඟින් වළකිනවා. හිස් කබල සෝදද්දී හොඳින් අතුල්ලා පිරිසුදු කළ යුත්තේ එනිසයි.

පිට

අතුල්ලා පිරිසුදු කිරීමට අසීරු තැනකි. එහෙත් පවුලේ සමීපතයකුට කියා හෝ පිට අතුල්ලා ගැනීම වැදගත් වන්නේ පිටේ මෘදු පටක ආසාදනය වීම වැළක්වීමටයි.

නියපොතු යට

වැසිකිලියට ගිය පසු, කිවිසීමෙන් පසු, අමු මස් ඇල්ලූ පසු අත් සබන් ගා සේදිය යුතු බව ඔබ දන්නවා. ඒ අනුව සබන් ගා අත සේදුවත් නියපොතු යට පවිත්‍ර නොකරනවා නම් ඔබෙන් ඉටු වී ඇත්තේ පිරිසුදු කිරීමේ කාර්යයෙන් අඩක් පමණයි. මල සමඟ පිටවන බැක්ටීරියා නිය යට වර්ධනය වී ඒවා ශරීර ගතවීමට පුළුවන්. මේ නිසා සබන් වතුර පෙඟ වූ පුළුන් කෑල්ලකින් නිය යට ඇති කුණු, බැක්ටීරියා ඉවත් කරන්න. නිය කොටට කැපීමෙන් බැක්ටීරියා වර්ධනය වීම නතර කිරීමට පුළුවන්.

කන් පිටුපස

බොහෝ දෙනකුගේ අවධානයට ලක් නොවන තැනක්. එහෙත් ඉතා පහසුවෙන්ම පිරිසුදු කළ හැකිය. සිරුරේ උණුසුම්, වැසුණු තැන්වල බැක්ටීරියා පහසුවෙන්ම වර්ධනය වෙනවා. ඒ නිසා මුහුණ සෝදද්දී, නාද්දී කන් පිටුපස හොඳින් අතුල්ලා සෝදන්න.

යටි පතුල්

සිරුරට හිසේ සිට පාදාන්තය දක්වාම අයිතියි. හිසට වතුර වත් කළ පසු සමහරු සිතන්නේ මුළු ශරීරයම පවිත්‍ර වී අවසානයි කියලා. එහෙත් සත්‍ය එය නොවෙයි. යටි පතුල් හොඳින් අතුල්ලා සේදිය යුතුයි. දිලීර ආසාදන ඇතිවීමට බොහෝ විට මුල් වන්නේ අපවිත්‍රතාවයයි.

දහදිය අධිකව දමනවා නම්, මේස් පලඳින්නේ නැත්නම්, දෙපා වැසෙන්න පාවහන් නොපලඳිනවා නම් පාද හොඳින් සබන් ගා සේදිය යුතුයි. ඇඟිලි අතර ද මෘදු සබන් වර්ගයකින් සේදීමට අමතක නොකරන්න.

පෙකණිය

පෙකණිය උණුසුම් පුංචි ගල් ගුහාවක් බඳුයි. මේ බැක්ටීරියා කැඳවීමට කදිම තැනක්. දිනපතා සියුම් ලෙස මෘදු සබන් වතුරෙන් පෙකණිය සෝදන්න. විලාසිතාවට පෙකණියට කරාබු පැලඳ සිටිනවා නම් දිනපතා දැඩි අවධානයකින් පිරිසුදු කරන්න.

දිව

අප දිව දිගු කරන්නේ රෝගී විටක දිව දිගු කිරීමට වෛද්‍යවරයා පැවසූ විටයි. දන්ත සෞඛ්‍ය ගැන කතා කිරීමේදීත් වැඩි දෙනෙක් අවධානය යොමු කරන්නේ දත් සහ විදුරුමස් ගැනයි. කිසිවකුත් දිව ගැන සිතන්නේම නැහැ. දිවෙහි බැක්ටීරියාවලට සැඟ වී සිටිය හැකි දාර, රේඛා තිබෙනවා. මෘදු කෙඳි දත් බුරුසුවකින් දිව ද මදින්න.

ගෙල පිටුපස

ගෙල පිටුපස ඇති උණසුම ඔබට වඩාත් දැනෙන්නේ දහදිය අධිකව දමන කාලයටයි. විශේෂයෙන් දිගු කෙස් වැටියක් හිමි නම් උණුසුමත් තෙතමනයත් හොඳින් දැනෙනවා. ව්‍යායාම කරන විටත් ගෙල පිටුපස උණුසුම් වෙනවා වැඩියි. මෙය තනිකරම දූවිලි මැක්කන්ට සහ බැක්ටීරියාවන්ට පාරාදීසයක් විය හැකියි. දිනපතා මෘදු සබන් වර්ගයකින් මඳ උණුසුම් ජලයෙන් ගෙල පිටුපස සෝදන්න.

ඉකිළි

ඉකිළිය අතිශය පෞද්ගලික පෙදෙසකි. ඉකිළි පෙදෙසේ නැවීම්, රේඛා සුලබය. මේ නිසා අහිතකර බැක්ටීරියා වර්ධනය වෙනවා. එහි ප්‍රතිඵල රෝම කූප තුළට රෝම වැඩිම, දුගඳ සහ ආසාදනයි. මෞත්‍ර ලිංගික පෙදෙස ඉතා සංවේදියි. එනිසා දවසට වරක් සේදීම ප්‍රමාණවත්.

ව්‍යායාම කළ වහාම ඇඟ සෝදා ගන්න. නැත්නම් දහදිය වියළී කැසීම් වැනි අපහසුතා හට ගන්නවා.

වැලමිට

වැලමිටෙහි රේඛාවක් දුටු කාලයක් ඔබට මතකද? එහෙත් දවස පුරාම ඔබ කෙතරම් වැලමිටෙන් ප්‍රයෝජන ගන්නවාද? පරිගණකය කරවන මේසයේ පමණක් නොව කෙතරම් තැන්වල ඔබේ වැලමිට තබනවාද? වැලමිටෙහි ඇති රේඛාවල බැක්ටීරියා වර්ධනයවීමට හොඳ ඉඩක් තිබෙනවා. දිනපතා වැලමිට ද පවිත්‍ර කරන්න.

උපදෙස්

ප්‍රජා වෛද්‍ය විශේෂඥ

දිමුතු ධර්මවර්ධන