කම්පනයෙන් මානසිකව ගොළුවීම මැඩ පවත්වන්නට මනෝ චිකිත්සක ප්‍රතිකාර

මැයි 22, 2019

අද ශ්‍රී ලංකාව තුළ ජීවත්වන අපගේ සිත තුළ කාලයක් නැතිව තිබූ බයක්, චකිතයක් නැවත හටගෙන. දැන් දැන් ශ්‍රී ලංකා වාසීන් සිටින්නේ ඉතාමත් සෝදිසියෙන්. සැකමුසු දෙඇසින්. එයට හේතුව බෝම්බ පිපිරීමයි.

යුදමය පරිසරයක් නොවන, සාමාන්‍ය ජනයා ඒකරාශී වන පොදු ස්ථාන තුළ මෙසේ බෝම්බ පිපිරී යාම ඉතා අවදානම් තත්ත්වයක් වගේම හානිය ද බරපතළ විය හැකි කාරණයක්. එයින් කායික හා මානසික පීඩාවට ලක්වන අතර බෝම්බ නිසා ඇති කරන මානසික චකිතය හා ඇති වන මානසික ආබාධ තත්ත්වයන්ගෙන් මිදීම ගැන දැනුවත් වීම ඉතා වැදගත් කාලයකි.

ඔබ, ඔබේ හිතවතකු මෙවැනි අවදානමකට ලක්වූ විට කායිකව වන හානිය අපට පෙනෙන නමුත් එම පීඩනය හෝ තිගැස්ම නිසා වන මානසික හානිය අපට කෙළින්ම නොපෙනෙයි. එම නිසා මානසිකව වන චකිතය, අසහනකාරී තත්ත්වය, ප්‍රමාණය ගැන ඔබ සෝදිසියෙන් සිටිය යුතුමය.

මන්ද බෝම්බ පිපිරීම නිසා තමාගේ ආදරණීයයන් මිය යාම හේතු කොටගෙන ඇතිවන මානසික පීඩනය දරාගත නොහැකිව ජීවත්ව සිටින්නන් සියදිවි නසා ගැනීමට වුවද ඉඩ ඇත.

තමන් බෝම්බයකට හසුවීම නිසා ඇති වූ උග්‍ර මානසික පීඩනය නිසා භීතිකා තත්ත්වයන්, අපේක්ෂා භංගත්වයට පත්වීම, හුදෙකළා වීම දැකිය හැකිය. එම සිද්ධි හිතේ හිර කරගෙන කා සමඟවත් කථා නොකර සිටීම (බෝම්බ පිපිරීම නිසා ඇතිවූ කම්පනය නිසා මානසිකව ගොළු වීම) මෙන්ම සෑම මනුෂ්‍යයෙක් දෙසම බයෙන් සැකෙන් බැලීමට ඉඩ ඇත.

මෙවැනි පුද්ගලයන්ට අවශ්‍ය මනෝ උපදේශනය, මනෝ ප්‍රතිකාර සඳහා යොමු කිරීමට කටයුතු කිරීමට දැනුවත් වී සිටීම ඉතා වැදගත් වේ.

(උදාහරණයක් ලෙස ජාතික මානසික සෞඛ්‍යය විද්‍යායතනය තුළ මානසික පීඩාවන්ට ලක්වූවන්ට සවන් දීම සඳහා 1926 දුරකථන උපකාරක සේවය හඳුන්වා දී ඇත)

සුනාමි, බෝම්බ පිපිරීම වැනි ව්‍යසන අත්දැකීමකට ගොදුරු වී ජීවිතය බේරා ගත් පුද්ගලයකු තුළ ඇති විය හැකි මානසික චකිතය, තිගැස්ම, ප්‍රකම්පනය (ඊපචභථච) ලෙස හඳුන්වයි.

මෙම ප්‍රකම්පනය නිසා පුද්ගල සිත තුළ ඇතිවන පීඩනය තුළින් බය, ආතතිය, ශෝකය, කම්පාව වැනි කායික මානසික ලක්ෂණ පෙන්විය හැක.

ව්‍යසනයන්ට ගොදුරුවන පිරිසෙන් 10%ක් වැනි ඉතා සුළු පිරිසක් මෙම තත්ත්වයන්ට ලක්වන අතර බොහෝ අය සතියකින් දෙකකින් මානසිකව යථා තත්ත්වයට පත්වේ.

නමුත් එසේ නොවී ව්‍යසනයට ගොදුරු වී සති 4 කටත් පසුව ඉහත ලක්ෂණ පෙන්වයි නම් එය පශ්චාත් ප්‍රකම්පන ක්ලමථ අක්‍රමිකාව (නධඵබ ඊපචභථචබඪජ ඉබපඥඵඵ ච්ඪඵධපඤඥප - ර්‍ථධ්ඉච්) ලෙස හඳුන්වයි. එවැනි අය තුළ දැකිය හැකි ලක්ෂණ ලෙස නින්ද නොයෑම, වමනය, අවධානය එකතැන රඳවාගත නොහැකිවීම, තීරණ ගත නොහැකි වීම, චංචලගති ස්වභාවය, කාලය ගැන තැකීමක් නොවීම, අධි සංවේදීබව, හුදෙකලා වී සිටීම, තිගැස්ම, බිය, කැළඹීම් සහිත බව, කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම (මානසිකව ගොළු වීම) හැඟීම්වලින් තොරවීම, කලකිරීම හා එම නිසා විශාදීය ලක්ෂණ මතුවීම දැකිය හැක.

මෙම ලක්ෂණ පෙන්වීම ර්‍ථධ්ඉච් වල මූලික ලක්ෂණයක් වන අතර මේ අනුව එම පුද්ගලයන් සමාජයෙන් කොන් වීමට, හුදෙකලා වීමට උත්සාහ කිරීම දැකිය හැකිය.

බෝම්බ පිපිරීම වැනි සිද්ධියක් ගත් විට එයට වගකිවයුතු යැයි හැඟෙන පුද්ගලයන් ගැන තරහක්, වෛරයක් ඇති කරගෙන පළිගැනීමට, පහරදීමට උත්සාහ කිරීම, අදාළ සිද්ධියට අදාළ මතකයන්වලින් ඉවත් වීමට දැඩි ඇබ්බැහිකාරී මත්ද්‍රව්‍යවලට යොමුවීම, සියදිවි නසා ගැනීමට පෙළඹීම වැනි ක්‍රියාවන්ට යොමුවීමට ද ඉඩ ඇත.

මෙවැනි තත්ත්වයන්ට පවත්වන්නේ සිදු වූ ව්‍යසනකාරී සිද්ධිය මත පුද්ගලයා ගොඩනඟා ගන්නා ආකල්පයන්හි වන වැරැදි සහගතබව මතය. එනම් වැරැදි ලෙස සිද්ධිය සංජානනය කරගන්නා නිසාය. උදාහරණයක් ලෙස දේවස්ථානයේ බෝම්බ පිපිරීමට ගොදුරුවී දිවි ගලවා ගත් අයකු තුළ ඇතිවන පීඩනය මත දේවස්ථානවලට යාමට භීතිකාවක් ඇති විය හැක.

පුද්ගලයා දැනුම ගොඩනඟා ගන්නා ක්‍රම 2ක් ඇති අතර හිපෝකැම්පස් නම් ඉන්ද්‍රීය ක්‍රියාත්මක වීමෙන් ඒ ආශි‍්‍රත ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය මත ඇතිවන දැනුම ස්වභාවික තර්කානුකූල භාවයකින් යුතු යථාර්ථවාදී දැනුමකි. එසේම අම්ග්ඩලාව ආශි‍්‍රත ස්නායු පද්ධතියේ ක්ෂණික ක්‍රියාකාරීත්වය මත ඇතිවන්නේ චිත්තවේගික දැනුමකි.

එය හැමවිටම නිවැරැදි නැත. මේ නිසා පුද්ගලයා තුළ තිගැස්ම ඇති වේ. ඉහත සිද්ධියට අදාළව දේවස්ථානවලට බියක් ඇතිවීම, චිත්තවේගික දැනුම මත ඇති වූ මානසික සංචලතාව (චකිතය) මත සිදුවන්නකි.

මෙහිදී එවැනි පුද්ගලයන්ගේ මානසික තත්ත්වය තේරුම් ගෙන ඔහුගේ පැත්තෙන් බලා (සහකම්පනයෙන් යුතුව) යථාර්ථවාදී දැනුම දේවස්ථානයේ සිදුවූ බෝම්බ පිපිරීම් වැනි තත්ත්වයන් සෑම දේවස්ථානයකමවත්, සෑම වේලාවකම, හැම මොහොතකම සිදුවන්නක් නොවන බව ඒත්තු ගැන්විය යුතුය.

සාමාන්‍ය ජීවන රටාවට හුරු කළ යුතුය. මෙහිදී විවිධ මනෝ ප්‍රතිකාර ඇති අතර වඩාත් සුදුසු වන්නේ මනෝ උපදේශකයකු වෙත යොමු කිරීමයි.

මෙහිදී සාමාන්‍ය ජනතාව වශයෙන් ඔබට කළ හැකි

ක්‍රියාමාර්ගයන් ලෙස,

1. බියෙන් චකිතයෙන් සිටින දරුවෙක්, වැඩිහිටියෙක් සිටීනම් ඔහුට හොඳින් සවන් දෙන්න.

2. ඔහු සමඟ ඉතා හොඳ සමීප සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඔහු කතාවට පොළඹවා ගෙන ඔහුගේ චකිතය, බයවීමට ඇති සිද්ධිය ගැන කතාවට ඉතා අවධානයෙන් සවන් දෙන්න.

3. ‘මෙවැනි සිද්ධි සාමාන්‍යයෙන් ගණන් ගන්න එපා.’ ආදී වූ ප්‍රකාශ නොකරන්න. ඔහුගේ කථාව වැදගත් නැති බොරු කියවීමක් ලෙස පහත් ලෙස නොසලකන්න.

(ඔහු පිටකරන්නේ ඔහුගේ පීඩනයයි. එයට සවන් දෙන්නෙක් සිටිය යුතුමයි)

4. ව්‍යසනයකට ගොදුරු වී දිවි ගලවා ගත් අයකුගේ පවුලේ අය මරණයට පත් වී ඇත්නම් ඔහු සිටින්නේ සමිපතමයන් නැති වීමේ පිඩනයකින්. එම නිසා ඔබට ඔවුන්ව බේරා ගන්න ඉඩ තිබුණේ නැද්ද ආදී වරදකාරී හැඟීමක් ඇති වන ප්‍රකාශ, ප්‍රශ්න ඉදිරිපත් නොකරන්න.

5. මනෝ උපදේශන සේවාවකට යොමු කරන්න.

මනෝ උපදේශක බාහිර කථිකාචාර්ය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.