ගර්භණි සමයේ උදෑසන අපහසුතා හා ඔක්කාරයට පිළියම්

මැයි 22, 2019

ගැබිනි බවේ ඉතා සුලබ ලක්ෂණයක් වන උදෑසන අපහසුතාව (Morning Sickness)  හා ඔක්කාරය, වමනය බොහෝ කාන්තාවන්ට අප්‍රසන්න අත්දැකීමක් වේ.

එදිනෙදා වැඩ කටයුතුවල යෙදීමට අපහසුවන තරමටම මෙම අවස්ථාව වර්ධනය වනු දැකිය හැකියි. “අනේ අපිටත් ළමයි ලැබුණා. මෙහෙම නම් එකක් දැකලා නැහැ” ලෙස වැඩිහිටි කාන්තාවන් අවලාද නගන අවස්ථා ද නැත්තේ නොවේ. නමුත් මේ ගැටලුව නුතනයේ හටගත් අලුත්ම ලෙඩක් නොවේ. මෙයට අවුරුදු 600 කට පමණ පෙර ලියැවුණු ආයුර්වේද ග්‍රන්ථවල පවා මෙම අවස්ථාව පිළිබඳ සාකච්ඡා කර ඇත.

වමනය සහ උදෑසන අපහසුතාවට හේතුව

උදෑසන අපහසුතාව ඇතිවීමට බලපාන මූලික හේතුව ගැබ තුළ වැඩෙන කලලයෙන් නිකුත්වන හෝර්මෝනවල ක්‍රියාකාරිත්වය යි. මෙම හෝර්මෝනවලට ශරීරය විසින් ඇතිකරපු ප්‍රතිචාරයක් ලෙස අපහසුතා පෙන්නුම් කරයි.

නවීන වෛද්‍ය විද්‍යාවේ දී මොළයේ පවතින වමනය ඇතිකරන අවයවය උත්තේජනය, වමනයට හේතුව ලෙස දක්වයි. නමුත් මෙය රෝග තත්ත්වයක් නොවේ. ගර්භණී සමයේ ඇතිවන සාමාන්‍ය අපහසුතාවකි. අන් ලෙසකින් කිවහොත් එබඳු අපහසුතා ඇතිවීම ධනාත්මකව සැලකිය යුතුවේ. නිරෝගීව හොඳින් වැඩෙන කලලයකින් ප්‍රමාණවත් හෝර්මෝන සාන්ද්‍රණයක් නිකුත් වේ. අපහසුතා දැනෙනුයේ ඒ හේතුවෙනි. මෙය කලලය නිරෝගී යැයි දනවන පුවතකි.

එසේ නොමැතිව වමනයේ දී ඇතිවන ගැස්ම නිසා කලලයට හානි වේ යැයි සිතීම කලලයේ වැඩීමට පෝෂණය මදි වේ යැයි සිතීම මිත්‍යාවකි. ගැබතුළ කලලය පරපෝෂීය මව ආහාර ගත්ත ද නොගත්ත ද කලලය තමාට අවශ්‍ය පෝෂණය මවගේ රුධිරයෙන් උරාගනී. නමුත් මව දුර්වල නොවීමටත්, රුධිරයේ පරිමාව නියත අගයක තබා ගැනීමටත් වමනය පාලනය අවශ්‍ය ය.

 

2019/05/22 තරුණි බලන්න