අව්වේ ගියාම මූහුණේ ඇතිවන අඳුරු සමනල ලප “ලුපස්” රෝගයේ ලකුණුදැයි බලන්න

මැයි 29, 2019

නිතර අහලා පුරුදු නැති වුණත් අපේ රටේ කාන්තාවන් අතර වැඩිපුර දකින්නට ලැබෙන රෝගයක් ගැනයි අද අප ඔබට පවසන්නේ. “ලුපස්” නමින් හැඳින්වෙන මේ රෝගය වැඩිපුරම වැලඳෙන්නේ ප්‍රජනන අවදියේ පසුවන කාන්තාවන්ටයි. ලූපස් රෝගය ජානමය රෝගයක්. රෝගී පුද්ගලයකු ඔබේ පවුලේ සිටිනවා නම් රෝගය වැලඳීමට ඇති හැකියාව ඉහළයි. ලුපස් රෝගය වැලඳීමට හේතුවන ජාන සහිත පුද්ගලයකු හිරුඑළියට නිරාවරණය වීම, විවිධ ඖෂධ, මානසික ආතතිය, ඇතැම් බැක්ටීරියා හෝ වෛරස ආසාදන නිසා ලුපස් රෝගය ඇතිවන්නට පුළුවන්.

යොවුන් ඔබේ සුන්දර මුහුණ අව්වේ ගිය විට අවපැහැ ගැන්වෙනවාට ඔබ අකැමැතියි නේද? මේ දවස්වල තිබෙන දැඩි උණුසුම් කාලගුණයත් එක්ක නිතර හිරුඑළියට නිරාවරණය වුණාම මූණ විතරක් නොවෙයි අත, පයත් කර ඇරුණු ඇඳුම් ඇන්දොත් පිට හා ගෙල අවටත් කළු පැහැ ගැනීම සාමාන්‍යයි. ඒත් යාන්තම් අව්වේ ගියත් හිරුඑළිය වැදුණු සැනින් ඔබේ සම අවපැහැ ගැන්වෙනවා නම් සම මතුපිට කළු හෝ අවපැහැති තිත් හෝ ලප මතුවෙනවා නම්. ඒ ලපවල හැඩය සමනලයකුගේ වගේ නම් ඒ ගැන ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ඒ සමනල හැඩැති ලප හෝ කළු පැල්ලම් ලුපස් රෝගයේ ලක්ෂණයක් විය හැකි නිසයි. මේ ලප රූපලාවණ්‍ය ගැටලුවක් යැයි සිතා රූපලාවණ්‍ය ශිල්පීන් වෙත යෑම හෝ විවිධ ආලේප ගැල්වීම නොකළ යුතු අතර රෝග ලක්ෂණ දුටු විට වෛද්‍ය උපදෙස් පැතීම වඩා සුදුසුයි.

සමනල හැඩැති ලප චර්ම රෝගයේ ලක්ෂණ වෙන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා. බොහෝවිට යොවුන් දැරියන්ගේ මුහුණු මත මෙවැනි ලප ඇතිවෙනවා. මේ සමනල ලප වේදනාවෙන් තොර වුවත් බරපතළ රෝග තත්ත්වයන්ට හේතු වෙනවා. විශේෂයෙන්ම වයස අවුරුදු 15-45 අතර ප්‍රජනන අවදියේ පසුවන කාන්තාවන්ට එයින් වන බලපෑම වැඩියි. ලුපස් රෝගය වැඩියෙන්ම බලපාන්නේ සමට සහ හන්දිවලටයි. එය සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපාන ප්‍රතිශක්තිය හීන කරන ආබාධයක්. රෝගය ඇතිවන්නේ සිරුරේ ඇතිවන වෙනස් වීමක් හේතුවෙන්. සාමාන්‍යයෙන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් සිදුකරන්නේ බාහිරින් සිරුරට ඇතුළු වන වෛරස, බැක්ටීරියා වැනි විෂබීජවලට විරුද්ධව ප්‍රතිදේහ නිපදවා එම විසබීජවලට එරෙහිව සටන්කර ශරීරය ආරක්ෂා කර ගැනීමයි. ඒත් ලුපස් රෝගයේදී ශරීරයේ ඇති සෛලවලට විරුද්ධව ප්‍රතිදේහ නිපදවී එමඟින් සිරුරේ අවයවවලට හානි සිදුවෙනවා. මෙලෙස ශරීරයේ නිපදවන ප්‍රතිදේහ මඟින් තමන්ගේම සෛලවලට හානි සිදු කරන රෝග ඒභබධ ධ්ථථභදඥ ච්ඪඵඥචඵඥ (ස්වයං ප්‍රතිශක්ති රෝග) යනුවෙන් හඳුන්වනවා.

 

ලුපස් රෝගයෙහි මූලික ලක්ෂණ අතර හන්දි වේදනාව, අධික ලෙස හිසකෙස් ගැලවී යාම, හිරුඑළියට අධි සංවේදීතාව (ර්‍ථඩධබධ ඵඥදඵඪබඪමඪබර) හෙවත් අව්වේ යන විට සම කැසීම හෝ රතු වීමත් ඇස්වල කඳුළු නිපදවීමත් දක්වන්න පුළුවන්. රෝගය වැලඳුණු කාන්තාවන්ට ගබ්සා ඇතිවීම, වකුගඩුවලට බලපෑම් ඇතිවීම, ස්නායු පද්ධතියට හා මොළයට හානි ඇතිවීමත් එහි ඇති භයානක තත්ත්වයයි. රෝගය කෙනකුගෙන් තවත් කෙනකුට බෝ නොවුණ ද රෝගී කාන්තාවකට බිහිවන දරුවකුට රෝගය වැලඳෙන්නට ඇති හැකියාව වැඩියි.

ලුපස් රෝගය නිට්ටාවට සුවකළ නොහැකි මුත් ඖෂධ මඟින් ප්‍රතිදේහ නිපදවීම පාලනය කිරීමට පුළුවන්.. නිසි වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ලබාගනිමින් රෝගය පාලනය කළ විට සුරක්ෂිතව දරුවන් බිහිකළ හැකියි. ඔබට රෝගය වැලඳී ඇතැයි සැකහැර දැනගත් විට දරුවකු අපේක්ෂා කරන්නේ නම් අඛණ්ඩවම වෛද්‍ය උපදෙස් පිළිපදිමින් සැලසුම් සහගතව කටයුතු කිරීම ඉතා වැදගත්.

ලංකාවේ දැනට ලුපස් රෝගීන් 20000 කට අධික පිරිසක් ඇතැයි ගණන් බලා තිබෙනවා. කොළඹ මහ රෝහලේ ලුපස් රෝගීන්ට විශේෂ සායනයක් පැවැත්වෙනවා. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක රජයේ රෝහලකින් රෝගය සඳහා වෛද්‍ය උපදෙස් ලබාගන්නට ඔබට පුළුවන්. ඉහත සඳහන් රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් වේ නම් ළඟම පිහිටි රෝහලක කායික රෝග විශේෂඥවරයකු ,රක්තවේද විශේෂඥවරයකු හෝ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු වීමෙන් ඔබට අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගන්නට පුළුවන්.

 

උපදෙස්

කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේද අංශයේ අධිපති ඖෂධවේදය හා කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය

පි‍්‍රයදර්ශනී ගලප්පත්ති