සරු නිසරු බවට බලපාන පැලෝපීය නාලයේ සැබෑ කතාව

ජුනි 12, 2019

පති පතිනියන් එක කැදැල්ලකට වන්නේ ඉක්මනින්ම ආදරයේ මිහිරිම ප්‍රතිඵලය වන කිරි කැටියකුගේ උණසුම විඳ දරා ගැනීමටයි. බොහෝ අඹු සැමියන් ඒ සොබා දම් වරම අඩුවක් නැතිව උරුම කරගෙන තිබේ. එහෙත් අවාසනාවකට ඒ උරුමය අහිමි අය ද අප අතර සිටිති.

පැලෝපීය නාලයේ ගැටලු ඇතුළු ගැටලු රැසක් මඳසරු බවට බලපාන අතර මෑතකදී අසන්නට දකින්නට ලැබුණේ මිනිස් හදවතක් ඇති කිසිවකු විසින් නොසිතන, නොපතන හේතුවකි. මිය යමින් පවතින ජීවිතයට පවා පණ දෙන ජීවකවරුන් වන වෛද්‍යවරුන් අතර බලෙන් පැලෝපීය නාලයට හානිකර මඳසරු කරන්නන් ද සිටින බව ඒ ආරංචියයි. වෛද්‍යවරයාට අසරණ රෝගී ජීවිතයක් ඉදිරියේදි ආගමක් ජාතියක් නැත. එහෙත් එය එසේ නොවන වෛද්‍යවරුන් සිටිනවාද? මෙහි සත්‍ය අසත්‍යභාවය කුමක් වුවත් පැලෝපීය නාලයේ සැබෑ කතන්දරය මෙයයි.

කාන්තාවකගේ උදර කුහරයේ පිහිටි පැලෝපීය නාල දෙකෙන් එක් නාලයක් සෙ. මී. 10 – 13 ක් (අඟල් 4-5 ක්) දිගය. පළල සෙ. මී. 0.5-1.2 (අඟල් 0.2-0.6 ක්) වෙයි. ඒවා ශ්ලේෂ්මල පටලයකින් ආස්තරණය වී තිබේ. මේ ආස්තරණය මත තවත් ආස්තරණ තුනක් තිබේ.

ශ්ලේෂ්මල ආස්තරණය සැමියාගේ බිරියගේ ආදරණීය එක්වීමකින් පසු ස්‍රාව නිකුත් කරන අතර මේ ස්‍රාව ශුක්‍රාණු සහ ඩිම්බ සජීවීව පවත්වාගෙන යාමට උපකාරී වෙයි.

මඳසරු බවට ප්‍රධාන හේතුවක් වන්නේ පැලෝපීය නාල අවහිර වීම, කැලල් වීම වැනි කරුණුයි.

පැලෝපීය නාලවල ගැටලු ඇත්නම් ගර්භාෂය නීරෝගී නැත්නම් මවක වීමේ සිහිනය සැබෑ කර ගත නොහැකියි. ඩිම්බකෝෂ දෙකෙන් එකකින් පරිණත ඩිම්බ පිට වෙයි. ඒවා පැලෝපීය නාල මඟින් ලබා ගන්නා අතර ශුක්‍රාණු ගැබ්ගෙල හරහා ගර්භාෂය හරහා පැලෝපීය නාලයට යන අතර එහිදී ඩිම්බය සහ ශුක්‍රාණුව සංසේචනය වෙයි. එසේ සංසේචනය වු බීජය පැලෝපීය නාලයෙන් ගර්භාෂය කරා ගොස් ගර්භාෂ බිත්තියේ යුක්තාණුවක් ලෙස තැන්පත් වෙයි. යුක්තාණුව කලලයක් වී, කලලය කිරිකැටි බිලිඳකු ලෙසින් මවගේ දෝතට තිළිණ වෙයි.

මේ ක්‍රියාවලිය නිසියාකාරව සිදු නොවීමට පැලෝපීය නාලයේ ගැටලු ප්‍රධාන බාධාවකි.

ශ්‍රෝණියේ ප්‍රදාහයන් නිසා පැලෝපීය නාල අවහිරවීමට හෝ හානිවීමට පුළුවන. එසේ අවහිර වූ විට සරු බීජය ගර්භාෂය වෙත යාම වළකියි.

ක්ලැමීඩියා, ගොනෝරියා හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග නිසා ශ්‍රෝණි ප්‍රදාහයට පත් වෙයි.

 

උපදෙස්

නැගෙනහිර කොළඹ

මූලික රෝහලේ නාරි හා ප්‍රසව

විශේෂඥ වෛද්‍ය

මයුරමාන දෙවොලගේ

 

2019/06/12 තරුණි බලන්න