ඩෙංගි මාරයා යළි හිස ඔසවයි

ජූලි 3, 2019

පොසොන් මහට වහින වැසි ඇසිපිය ගැසීමටත් පෙර නිම වෙනවා. මොහොතකට එහෙමත් නැත්නම් කෙටි වේලාවකට ඇද හැළෙන මේ වැසි බිඳුවලින් ඔබේත්, පවුලේ සාමාජිකයන්ගේත් මදුරු මාරයා, ඩෙංගි (ඩෙංගු) මාරයාගේ නිජබිම සැකසෙනවා.

වැසි ඇතත් නැතත් දිනපතා බැරිනම් අඩුවශයෙන් සති අන්තයේදීවත් මදුරුවන් බෝවිය හැකි තැන් ඇත්නම් සොයා බලා විනාශ කිරීමේ යුතුකම, වගකීම දැන් බොහෝ දෙනකුගෙන් පැහැර හැරිලා. ආරක්ෂක පුවත් ගැන වැඩි අවධානය යොමුවී ඇති නිසා දිනපතා ඩෙංගි රෝගීන් වාර්තා නොවුණ ද 2017 ට පසු මේ වසරේදී යළි වසංගත තත්ත්වයක පෙර නිමිති පහළ වෙලා.

රටේ ආරක්ෂාව ගැන සොයා බැලීමට සිදුවී ඇති නිසා අපේ ආරක්ෂක හමුදාවට ඩෙංගි මාරයන් සොයා නිවෙසින් නිවෙසට ගොස් සොයා බැලීමට කාල වේලාවක් නොමැති බව අප සැවොම දන්නවා. ඒ නිසා ජලය පිරෙන තැන් සෙවීමේ වැඩි වගකීමක් රටේ පොදු මහජනතාව වශයෙන්, පවුලට රටට ආදරය කරන්නන් වශයෙන් අප වෙත පැවරී තිබෙනවා.

2018 වසරේ ඩෙංගි රෝගීන් 51659 ක් වාර්තා වුණු අතර 2019 මාර්තු මාසය වන විට රෝගීන් 22873 ක් වාර්තා වී තිබෙනවා. අප්‍රේල් මාසයේ රෝගීන් 2959 ක් ද, මැයි මාසයේ රෝගීන් 4155 ක් ද, ජුනි මාසයේ රෝගීන් 2621 ක් ද වාර්තා වෙලා. වැසි මද වශයෙන් හෝ පවතින කාල ඩෙංගි රෝගීන් සංඛ්‍යාව වැඩි කරන කාලයි. රෝගීන්ගෙන් 41.3% ක්ම වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්. මේ නිසා උදාවී තිබෙන්නේ ලොකු කුඩා කියා වෙනසක් නැතිව ජලය පිරෙන තැන් ගැන විමසිල්ලෙන් සිටිය යුතු වකවානුවක්.

වසර ගණනක් ඩෙංගි අපට වධ දුන්නත් තවමත් වැඩි දෙනකුට මේ ගැන නිසි අබෝධයක් නැහැ.

ඩෙංගි කියන්නේ වෛරස් රෝගයක්. ඩෙංගු උණ කියා කටවචනෙන් පැවසුවත් උණ ඩෙංගි රෝගයේ එක ලක්ෂණයක් පමණයි. තවත් ලක්ෂණයක් වන්නේ සිරුරේ තදබල වේදනාව (හන්දිපත්, මාංසපේශි ඇතුළුව). හිසරදය, වමනය, ඔක්කාරය, වෙහෙස වැනි ලකුණු ද ඇති විය හැකියි.

රෝගය වැලඳී දින පහකට පමණ පසුව පලු මතුවීම වැනි ලකුණු ද හට ගන්නවා. රෝගය තදබල ලෙසින් බලපෑමෙන් පසු දැඩි උදර වේදනාව, දිගින් දිගට වමනය යාම, විදුරුමස්වලින් හෝ නාසයෙන් රුධිරය පිටවීම, මල මුත්‍රා හෝ වමනයේ රුධිරය තිබීම, සම යටින් රුධිර පැල්ලම් ඇතිවීම, හුස්ම ගැනීමේ අසීරුතාව හෝ වේගයෙන් හුස්ම ගැනීම, සම සීතලවීම, වෙහෙස, නොරිස්සුම් සහගත බව වැනි ලකුණු ඇතිවීමට පුළුවන්.

රෝගය හඳුනා ගන්නේ කෙසේද?

උණ වැලඳී දින තුනකින් පූර්ණ රුධිර පරීක්ෂාව කිරීම (ෆුල් බ්ලඩ් කවුන්ට්) දැන් කොයි කාටත් හුරු පුරුදු දෙයක්. මේ පරීක්ෂණයෙන් උණට හේතුව වෛරසයක් ද, බැක්ටීරියාවක් ද නැත්නම් වෙනත් හේතුවක් ද කියා වෛද්‍යවරයාට නිගමනය කිරීමට පුළුවන්.

කෙනකුට උණ වැලඳුණු පළමු වැනි දවසේදීම ව්ඉ1 ඇන්ටිජන් පරීක්ෂණයෙන් වැලඳී ඇත්තේ ඩෙංගි ද නැත්ද කියා තීරණය කිරීමට පුළුවන්. එහෙත් මෙහිදී පරීක්ෂණ ප්‍රතිඵල නෙගටිව් වුණත් පොසිටිව් වුණත් එයින් නිශ්චිතවම ඩෙංග ිද නැත් ද කීමට බැහැ. වෛද්‍යවරයා පූර්ණ නිගමනයකට එළඹෙන්නේ දින තුනකින් කරන පූර්ණ රුධිර පරික්ෂණයකින්.

ඩෙංගි ඇතුළු වෛරස් රෝගවල දී සුදු රුධිරාණු අඩුවෙනවා. රුධිර පට්ටිකා (ප්ලේට්ලට්) අඩුවෙනවා. මේ අඩුවීම කැපී පෙනෙන විශාල වෙනසක්.

රෝගය ඩෙංගි රක්තපාතය දක්වා වැඩිදියුණු වූ විට රෝගීන්ගේ රුධිරයේ තිබෙන දියර කොටස (ප්ලාස්මාව) රුධිර නහරවලින් පිටතට ගලනවා. (ලීක් වෙනවා) ඩෙංගි රක්තපාතය කියන්නේ රෝගයේ සංකුලතාවක්.

ඩෙංගි රෝගයේ සුලබම සංකූලතාව ඩෙංගි රක්තපාතයයි. රෝගය අක්මාවට ද බලපාන්න පුළුවන්.

රෝගියා රෝහල්ගත කරන්නේ කුමන අවස්ථාවේද?

රෝගියා රෝහල්ගත කරන්නේ රුධිර පට්ටිකා සංඛ්‍යාව එක් ලක්ෂ තිස්දහසට අඩුවූ විටයි.

රෝහලේදී වෛද්‍ය කාර්ය මණ්ඩලය රෝගියාගේ සංකූලතා ඇත්දැයි බලනවා.

රෝගියාගේ රුධිර නාළවලින් දියර කොටස පිටවනවා ද කියා පිරික්සනවා. පිටවන මුත්‍රා ප්‍රමාණය මැන බලා එය සිදු කරනවා. රෝගියාට ගණනය කරනලද දියර ප්‍රමාණයක් සේලයින් හෝ පානයක් වශයෙන් දෙනවා. දෙන දියර ප්‍රමාණය තීරණය වන්නේ රෝගියාගේ බර අනුවයි. පැයකට, පැය දෙකකට වරක් කොපමණ මුත්‍රා ප්‍රමාණයක් පිටවනවාදැයි ඊළඟට බලනවා.

රෝගියාට මුත්‍රා අඩුවෙන් පිට වෙනවා නම් තත්ත්වය සතුටුදායක නෑ. එවිට වහාම පිළියම් කිරීම අරඹනවා. රක්තහීිනතාව බලනවා. ස්කෑන් පරීක්ෂණයකින් රුධිර නාලවලින් පිටතට ජලය යනවාදැයි නිරික්සනවා. උදරයට පෙණහලුවලට දියර යනවාදැයි ස්කෑන් පරීක්ෂණයෙන් දැක ගත හැකියි. රුධිර වහනය බැලීමට මුත්‍රායාම පිරික්සනවා. රුධිරයේ උකුගතිය බලනවා. රුධිර වහනයක් ඇති විට උකුගතිය අඩු වෙනවා.

රුධිර නාලවලින් දියර පිටවන විට රුධිරයේ උකුගතිය වැඩි වෙනවා.

මීට අමතරව නාඩි වැටීම, රුධිර පීඩනය ද බලනවා. ඩෙංගි රෝගීන්ට කෝපි බීමට දීම, බීට්රූට් කෑමට දීම සුදුසු නෑ. රත්පැහැයට දුඹුරු පැහැයට හුරු කිසිදු කෑමක් බීමක් සුදුසු නෑ. උණ අඩු කිරිමට දිය හැකි එකම වේදනා නාශකය පැරසිටමෝල්. එය ද දිය යුත්තේ රෝගියාගේ බර අනුව. දරුවන්ට වැඩි අවධානයකින් පැරසිටමෝල් දිය යුතුයි.

කිලෝග්‍රෑම් 50 ට වැඩි වැඩිහිටියකුට නම් දිනකට තෙවරක් පැරසිටමෝල් පෙති දෙක බැගින් ගත හැකියි.

ඩෙංගි රෝගීන්ගේ ප්ලේට්ලට් (පට්ටිකා) කෘත්‍රිමව වැඩි කිරීම නිරර්ථක දෙයක්. පැපොල් යුෂ දීමෙන් ප්ලේට්ලට් වැඩි කළත් රෝගියාට ඇතිවිය හැකි සංකූලතා වෙනස් වන්නේ නැහැ.

රෝගයෙන් අක්මාවේ සංකූලතා ඇතිවූ විට රුධිරයේ අක්මා එන්සයිම වැඩිවෙනවා.

රක්ත වහනයක් වූ විට රුධිරය ලබා දෙනවා. දියර පිටතට යනවා නම් විශේෂ දියරයක් දෙනවා. පැය 48 කදී රෝගියාට පවතින රක්ත වහනයට හෝ දියර පිටවීමට හෝ රක්ත වහනය සහ දියර පිටවීම වැනි තත්ත්වයන් දෙකම පවතිනවා නම් ඊට ද ප්‍රතිකාර ලබා දෙනවා.

 

උපදෙස්

කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

ප්‍රදීප් කුමාරසිංහ ද සිල්වා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.