අපේ අම්මලාටත් එච් අයි වී, සිෆිලිස්වලින් තොර දරු සම්පත් හිමියි

ජූලි 10, 2019

“ආනේ! අම්මගෙ ඇස් දෙකයි. තාත්තගෙ කටයි”

“නෑ අම්මගේ මූණ. තාත්තගෙ මුරණ්ඩු කොණ්ඩෙ ඒ විදියටම තියෙන්නෙ”

නව මසක් කුස දරා සිටි දරු පැටියා බිහි වූ මොහොතේ සිට මවගේත් පියාගේත් දෑස් දරු පැටියාගෙන් ඉවතට යොමු වන්නේම නැති තරම්. මවගෙන්, පියාගෙන් උරුම වුණ දේ මවටත් පියාටත් සැබෑ අභිමානයක්. එහෙත් තමන් නිසා තම ලෙයින් මසින් උපන් දරුවාට එච් අයි වී, සිෆිලිස් උරුම වූ බව පවසන්නේ කෙලෙසකද? එය කිසිදු මවකට පියකුට තම දරුවා වෙනුවෙන් කළ නොහැකි දෙයක්.

වාසනාවකට මවගෙන් දරුවාට එච් අයි වී ආසාදනය වීමත් සිෆිලිස් බෝවීමත් 2013 වසරේ සිට වළක්වා ගැනීමට හැකි වී තිබෙනවා.

ඒත් අපේ ඉතිහාසය සුන්දර නැහැ. අපට මුලින්ම මවගෙන් එච් අයි වී ආසාදනය වූ දරුවකු වාර්තා වුණේ 1996 දියි. 2018 අවසන් වන විට මවගෙන් එච් අයි වී ආසාදනය වූ

දරුවන් අසූ පස් දෙනෙක් හඳුනා ගෙන තිබුණා. ඒ 2013 ට පෙර බිහි වූ දරුවන්. 2013 වසරේ ජනවාරියේ පටන් ක්‍රියාත්මක වුණ වැඩ සටහන නිසා දැන් මේ අවාසනාවන්ත තත්ත්වයන්ට ගොදුරු වුණ දරුවන් සොයා ගැනීමට බැහැ.

මවක ගැබිනි වූ සැණින් වී. ඩී. ආර්. එල්. පරීක්ෂණය සහ එච්.අයි.වී. පරීක්ෂණ සායන හරහා සිදු කරනවා. මේ පරීක්ෂණ සිදු කරන්නේ මවගේ හිමොග්ලොබින් ප්‍රමාණ මැනීම, රුධිරයේ සීනි පරීක්ෂාව, රුධිර වර්ගය බැලීම වැනි සෙසු පරීක්ෂණ සමඟයි. සියල්ල ඉතා රහසිගතව සිදු කරන නිසා පෞද්ගලිකභාවය ආරක්ෂා වෙනවා.

2016 දී අපේ රටේ හැම අම්මා කෙනකුටම මේ රුධිර පරීක්ෂණ පහසුකම ලබා දී තිබෙනවා. ‘ඔබේ දරුවා රැකගන්න. ගැබිනි මවුවරුනි ඩ්ධ්ඍ පරීක්ෂාව මාතෘ සායනයෙන් කර ගන්න’. සෑම මවකටම රාජ්‍ය සෞඛ්‍ය ආයතනවලින් ලබාදෙන පණිවුඩයයි. මේ පණිවුඩයේ වටිනාකම අපේ මවුවරුන් ද හොඳින් වටහාගෙන තිබෙනවා. 2018 දී එනම් පසුගිය වසරේ අපේ රටේ දරුවන් තුන් ලක්ෂ විසි අට දහසක් ඉපදුණා. ගැබිනි මවුවරුන්ගෙන් 95% - 96% ක්ම පූර්ව සායනවලට සහභාගී වී එච් අයි වී, සිෆිලිස් සඳහා පරීක්ෂා කරගන්නා නිසා එක දරුවකුටවත් රෝගය මවගෙන් දරුවාට උරුම වී නැහැ. පරීක්ෂණවලින් ආසාදිත බව ඔප්පු වූ කාන්තාවන් 16 ක් දරුවන් 17 ක් (එක් මවක නිවුන් දරුවන් බිහි කළ නිසා) බිහි කළ ද දරුවන් දාහතම එච් අයි වී ආසාදිත නැති නීරෝගි දරුවන්.

සංජානනීය උපදංශය සෑදුණු දරුවන් පසුගිය වසරේ අපේ රටෙන් පස් දෙනෙක් පමණක් වාර්තා වී තිබෙනවා. ඒ ප්‍රතිකාරවලට යොමු නොවූ මවුවරුන්. එච් අයි වී ආසාදිත කාන්තාවන්ට වඩා සිෆිලිස් ආසාදිත කාන්තාවන් අපේ රටේ තරමක් වැඩියි. ඒත් 2013 දී ඇරඹූ ජාතික වැඩ සටහනින් මවුවරුන් සියයට 96 – 97 ක් පමණම පරීක්ෂාවට ලක් වී රෝගය ඇත්නම් ප්‍රති වෛරස ප්‍රතිකාර ලබාගන්නා නිසා දරුවාට රෝගය වැලඳෙන්නේ නැහැ. එච් අයි වී ආසාදිත මවුවරුන්ගේ දරුවන්ට ඉපදුණු පසුව ද සති කීපයක් ප්‍රතිකාර කරනවා.

උපදෙස් - ලිංගාශ්‍රිත බෝවන රෝග

පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ලිලානි රාජපක්ෂ

සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය

 

2019/07/10 තරුණි බලන්න