වාසනාව ගේනවා කියන විසිතුරු ශාකයම

ජූලි 24, 2019

මරු කැඳවන විස ගබඩාවක් වෙන්න පුළුවන්

 ඔළිඳ, එඬරු, නියඟලා, විවිධ හබරල වර්ග විස සහිතයි.

කනේරු මල් සුන්දර වුවත් කනේරු මලේ පැහැය කුමක් වුවත් කනේරු විස සහිත ශාකයක්. ජපන් අරලිය ශාකයේ කොටස් කෑමට ගැනුණොත් හෘද ස්පන්දන වේගය අඩුවෙනවා. රුධිර පීඩනය අඩුවෙනවා. නිදිමත, කරකැවිල්ල, ඩයරියා ඇතිවෙනවා. මදාරා ගසේ කොළ ද විස සහිතයි.හදවතේ, වකුගඩුවල, ස්වසන පද්ධතියේ ගැටලු මදාරා කොළ කෑමෙන් හට ගත හැකියි.

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මිලියනයක් පමණ වන රෝහල්ගත වීම් මෙන්ම ආබාධිත තත්ත්වයට පත්වීම සඳහා අනතුරු ප්‍රධාන හේතුවක්. අනතුරක් කියන්නේ හදිසියේ වෙන දෙයක් වුණත් අනතුරකට තුඩු දිය හැකි දේ අවම කිරීමේ වගකීම අප සතුයි.

නිවෙස, ගෙවත්ත අලංකාර කිරීමට තබන සමහර විසිතුරු මල් පැළ පවා පියවර ඔසවන වයසේ සිට දරුවාට මරු කැඳවන්න පුළුවන්. පසුගිය සතියේ අපි ඒ ගැන තොරතුරු ඔබ වෙත රැගෙන ආවා. මේ ඒ විසැති ශාක ආහාරයට ගත් පසු දරුවන් (වැඩිහිටියන්ටත් පොදුයි) පෙන්වන රෝග ලකුණුයි.

මේ එක් එක් ශාක ද්‍රව්‍ය විස වූ විට රෝග ලක්ෂණ ඇති වුණත් එය ශාක විසවීමක් කියා මාපිය වැඩිහිටියන් හඳුනා ගන්නේ නැහැ.

කැපුම් කීරිය, වැට එඬරු (රට එඬරු), තෙල් එඬරු (බේත් එඬරු) විස වූ විට වමනය, විජලනය, උදර වේදනාව, මල බුරුලට යාම, කරකැවිල්ල, කම්පනය වැනි ලකුණු ඇතිවෙනවා. මේවායේ ඇට කෑමෙන් දරුවන් නිතර රෝහල් ගත කෙරෙනවා. රෝග ලකුණු ඇට කෑමට ගෙන පැය භාගයක් පැය තුනක් ඇතුළත ඇති වනවා.

* මඤ්ඤොක්කා කෑමට ගෙන පැය 2 - 12 කදී ලක්ෂණ පහළ වෙනවා. වමනය, උදර වේදනාව, විජලනය, මල බුරුලට පිටවීම, කරකැවිල්ල, කම්පනයට අමතරව මෙහිදී උණ, ක්ලාන්තය, හුස්ම ගැනීමේ අපහසුවක් ද ඇති වන්න පුළුවන්.

* හබරල, මල් හබරල, රතු හබරල, කොළ කෑවිට පැය භාගයක්, පැය දෙකක් තුළ රෝග ලක්ෂණ මතුවෙනවා.

දිව, තොල් ඉදිමීම, කෙළ ඉනීම, මුව තුවාලවීම, කැසීම මෙවිට ඇති වන ලකුණුයි.

දහොඬල විස පැයකදී, පැය පහකදී ඉස්මතු වනවා. එහිදීත් වැට එඬරු වැනි ආහාර විස වූ විට ඇතිවන ලකුණු ඇති වනවා. මල සමඟ රුධිරය පිටවීමට ද පුළුවන්.