මේක් අප් කට්ටලේ තැන තැන දාන්න එපා

ජූලි 31, 2019

මේක්අප්, කෑම බීම තරමටම කාන්තාවකගේ ජීවිතයට සමීපයි. ඒ නිසා තමන්ගේ තුරුලේම තබා ගන්නා දෙයක් බවට මේක්අප් කට්ටල පත්වෙලා. ඒත් නිවෙසේ වයස අවුරුදු පහට අඩු දරුවකු සිටිනවා නම් මේ පුරුද්දට සමු දෙන්න ඕනෑ.

දරුවන්ට අත නොතැබිය හැකි තැනක රූපලාවණ්‍ය නිෂ්පාදන තැබීම හරිම වැදගත්.

අමෙරිකාවේ සෑම පැය දෙකකට වරක්ම වයස අවුරුදු පහට අඩු දරුවන් 64,686 ක් හදිසි අනතුරුවලින් රෝහල් ගත කෙරෙනවා. ඒ කුමන හෝ රූපලාවණ්‍ය නිෂ්පාදනයක් විස වෙලා. මේ තත්ත්වය අපේ රටටත් පොදුයි. අපේ දරුවන් ද දැන් මේක්අප් නිෂ්පාදන විස වී රෝහල් ගතකරනවා.

වැඩිපුරම විස වී පැමිණෙන්නේ නිය ආලේපන ඉවත් කරන දියර විස වීමෙන්. වෙළෙඳපොළේ ඇති නේල් පොලිෂ් රිමූවර් සියල්ලකම පාහේ ඇසිටෝන් අඩංගුයි. ඇසිටෝන් අක්මාවට හානිකරයි. වමනය, ඔක්කාරය, හද ගැස්මේ වේගය වැඩිවීම වැනි ලක්ෂණ ඇසිටෝන් ශරීර ගත වූ විට ඇති වෙනවා. ඇසිටෝන් ඉක්මනින් වාෂ්ප වෙන අතර වහා ගිනි ඇවිළෙන සුලුයි. ඒ නිසා ගෑස් ළිප අසල ගින්නක් අසල නියපොතුවල ගැල් වූ ආලේපන නේල් රිමූවර් මඟින් ඉවත් කිරීම ඉතා භයානකයි.

නිය ආලේපන ඉවත් කරන දියරවලට (නේල් පොලිෂ් රිමූවර්) අමතරව අප නිවෙසේ භාවිත කරන බොහෝ නිෂ්පාදනවල ඇසිටෝන් අඩංගුයි. නේල් පොලිෂ්, කොණ්ඩා වර්ණක, කොණ්ඩෙට දමන ශක්තිජනක දියරමය ඔසු, කන්ඩිෂනර් වර්ග, සමට ගල්වන ආලේපන, වැසිකිළි පිරිසුදු කිරීමට ගන්නා නිෂ්පාදන බොහොමයක ඇසිටෝන් අඩංගුයි. මේ ද්‍රව්‍ය හෝ දියර ශරීරගතවීමෙන් ඇස්ටෝන් විස විය හැකියි. හිසරදය, කථන ගැටලු, වෙහෙස, ව්‍යාකූලත්වය, දිවට පැණි රසක් දැනීම වැනි ලකුණු ද මෙවිට ඇති වෙනවා. උග්‍ර ලෙස විස වූ විට රුධිර පීඩනය අඩු වී, කෝමා තත්ත්වයට වුවත් පත් වෙන්න පුළුවන්. වෛද්‍යවරුන් රුධිරයේ ඇති කීටෝන්ස් ප්‍රමාණය මැන බැලීමෙන් ඇසිටෝන් වැනි විස ශරීරගත වී ඇත්දැයි බලනවා.

වාර්නිෂ්, බිත්තිවල ගල්වන සායම්, කෘමිනාශක, පළිබෝධ නාශක, වැක්ස්, රේසින්ස්, මුද්‍රණ තීන්ත, සපත්තු පොලිෂ්, ලී බඩුවලට ගල්වන ආලේපන, ප්ලාස්ටික්වල ද ඇසිටෝන් අඩංගුයි. ඇසිටෝන් අඩංගු සායම් ගල්වන ලද ජනෙල් වැසූ කුඩා ඉඩක සායම් සැර වැදීමෙන් ද විස ශරිරගත වීමට පුළුවන්. ඒ නිසා එවැනි අවස්ථාවක නාස් ආවරණයක් පලඳින්න.

දරුවන් හදිසි අනතුරු ඒකකයට රැගෙන යාමට හේතුවන රූපලාවණ්‍ය නිෂ්පාදන අතර ෂැම්පු, කන්ඩිෂනර්, ආලේපන සහ සුවඳ විලවුන් ද තිබෙනවා.

විස තොරතුරු ඒකකයේ

වෛද්‍ය සමන්ත ලියනගේ

 

2019/07/31 තරුණි බලන්න