දරුවාගේ දිව්‍යමය ඖෂධය උදුරා ගන්න එපා

අගෝස්තු 7, 2019

“මං හත් අවුුරුද්දක් අම්මගෙන් කිරි බිව්වා”. අද කාලයේ මෙසේ මහත් අභිමානයකින් පැවසීමට හැකි වාසනාවන්ත දූ දරුවන් සිටින්නේ කීයෙන් කී දෙනාද? ගස් ගල් පෙරළන්න තරම් වීරියක් සවියක් අපේ මුතුන් මිත්තන්ට ලැබුණේ උපතේ සිට ලැබුණු මවු කිරිවල දිව්‍යමය ඔසු ගුණය නිසාය.

සොබා දමේ අසිරිමත් ක්‍රියාවලියකින් මෙලොවට බිහිවන දරු සිඟිත්තා එදා වසර ගණනක් යනතුරු මවගේ කිරිවල උණුසුම, රසය, සෙනෙහසත් සමඟ වින්ද ද වර්තමානයේ ඒ වාසනාව බොහෝ විට මාස කිහිපයකට පමණක් සීමා වී ඇත.

ඉපදී මාසයක් යනතුරු මවු කිරි බීමට වරම් ලබන දරුවන්ගේ ප්‍රතිශතය සියයට අනූපහක් පමණ වෙයි. මාස දෙක තුනක් යනතුරු මවු කිරි ලැබෙන්නේ සියයට අසූ හතකටයි. මාස 4 – 5 වන විට ඒ ප්‍රතිශතය සියයට හැට අට දක්වා අඩු වෙයි.

බොහෝ මාපියන් නිදහසට හේතුව කරගෙන ඇත්තේ රැකියාවට යාමයි. අපේ කාන්තාවන්ගෙන් 34% ක් රැකියාවක නිරත වන්නියන්ය. එනම් කාන්තා ජනගහනයෙන් තුනෙන් එකක් රැකියාවක නියැළෙති. රැකියාවට යාම මවුකිරි දීම බාධාවක් නොවුණ ද නැන්දම්මලාගේ, අම්මලාගේ මුල් බැස ගත් මිථ්‍යා මත නිසා දරුවාගේ උරුමය මාස හයක් වන විටම අඩු මට්ටමකින් පවතියි.

“අනේ දුවේ ඔන්න දැන්ම ඉඳලම දරුවට පිටි කිරි ටිකක් පුරුදු කරන්න. නැත්නම් වැඩට ගියාට පස්සෙ දරුවා නලවනවා ඇර වෙන වැඩක් කරන්න බැරි වෙයි.” මෙසේ පවසන පවුලේ වැඩිහිටි කාන්තාවන් ඕනෑ තරම් සිටියි.

මව රැකියාවට ගිය ද දොවා ගත් කිරි දවස පුරාම යළි පැමිණෙන තුරු දරුවාට දීමට පුළුවන.

ශීතකරණයක් නැතත් සාමාන්‍ය කාමර

උෂ්ණත්වයේ මවුකිරි පැය හයක් තබා ගැනීමට හැකියි. පරිසර උෂ්ණත්වය වැඩි නම් තබා ගත හැකි කාලය පැය හතරකට සීමා වෙයි.

ද දවස පුරා මවු කිරි නැවුම් ලෙස තබාගත හැකි හොඳම ක්‍රමය ශීතකරණයේ මවු කිරි තබා ගැනීමයි. ශීතකරණයේ සාමාන්‍ය කොටසේ දින පහක් පමණ තබා ගත හැකියි. එහෙත් මවු කිරි අඩංගු භාජනය ශිතකරණයේ දොරේ නොතැබිය යුතුයි. ශීතකරණයේ ඇතුළට වන්නට කිරි භාජනය තැබිය යුතු අතර මස්, බිත්තර, නොපිසූ ආහාර ඒ ආසන්නයේ නොතැබීම ද ඉතා වැදගත්ය.

ශීතකරණයේ ඉහළ කොටසේ (ඩීෆ්‍රීසරයේ) නම් සති දෙකක් මවුකිරි තැබීමට පුළුවන. ශීතකරණයක් නැත්නම් පෙට්ටියක (කූල් බොක්ස්) පුරා පැය 24 ක් මවුකිරි තැබීමට හැකියාවක් තිබේ.

මෙතරම් සුරක්ෂිත කරමින් මව ළඟ නැතත් දරුවාට මවු කිරි පමණක්ම දිය යුත්තේ ඇයි?

තෙමසකට පසු මවුකිරි වෙනුවට කිරි පිටි දෙන ලෙසට යෝජනා කරන්නේ කවුරුන් වුවත් ඒ මවට හෝ දරුවාට ආදරයෙන් කරන යෝජනාවක් නොවෙයි. දරුවාගේ වයසට ගැළපෙන ලෙසින් සියලුම පෝෂක අඩංගු වී තිබෙන්නේ මවුකිරිවලම පමණි. මවු කිරිවල ආදේශකයක් ලෙස පිටි කිරි සම්මත කරගෙන තිබුණ ද මවු කිරට සම කළ හැකි අන් කිරක් මිහිපිට නොැමත. එපමණක් නොව විස පිරි සමහර පිටි කිරි දරුවාට නැති ලෙඩ ඇති කරයි.

උපදෙස් ද සොයිසා කාන්තා රෝහලේ

නව ජන්මීන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය, නිෂානි ලූකස්

2019/08/07 තරුණි බලන්න