රක්ත හීනතාව, මුත්‍රා ආසාදන නීරෝගි උපතකට බාධාවක්

අගෝස්තු 14, 2019

අම්මා කෙනකුගේ කැපවීමේ තරම පිළිසිඳුණු දිනයේ සිටම මට හොඳින් දැනෙනවා. දවසින් දවස සෛලයෙන් සෛලය බෙදී සෛල බෝලයක් බවට පත් වෙන කොට සෛලයක් ගණනේ අම්මාගේ ආදරයේ උණුසුම් රුධිරයට මුසු වෙනවා.

දවස් දෙක තුනකින් මං සෛල දහසයක එකතුවක්. සතියක් වෙන විට සෛල ගණන දෙසීයක් තුන්සීයක් තරම් විශාල ගණනක්. ඒත් ඒ වෙනකොට සමහර අම්මලා තමන් ගර්භණී බව දන්නෙත් නැහැ.

මුල් සතියේදී දෙකේදී ඉඳන්ම අම්මගෙ හෝර්මෝන වෙනස නිසා ලේවල ධාරිතාව, තෙල්, තරල වැඩි වෙන්න පටන් අරන්. මේ කාලෙදි අම්මගෙ බර වැඩි වෙන්න හොඳ නැහැ. බර වැඩි වෙනවා කියන්නේ ඇඟේ තෙල් කොටස වැඩි වෙන එකනෙ. ඒක හොඳ දෙයක් නෙවෙයි.

දෙන්නකුට කියලා කෑම බීම ගන්න හිතන එක වැරැදියි. ප්‍රමාණයට වඩා අම්මා හිතන්න ඕන සමබල ආහාර වේලක් ගැනයි. ෆෝලික් අම්ල පෙති ගත්තම තද කොළ පාට පලා වර්ග කෑමට එකතු කර ගන්න ඕන. මාළු කෑමට ගන්නෙ නැත්නම් ඔමෙගා 3 විටමින් ගැනීම වැදගත්. ඇඟට වෙහෙසක් නොදැනෙන ව්‍යායාමවල පුරුදු විදියට අම්මා යෙදෙනවා.

අම්මගෙ ගර්භාෂ ආස්තරණයේ මේ වන විට (සති දෙකක් පමණ වන විට) මං හොඳින් තැන්පත් වෙලා. වැදෑමහ තමයි මාවයි අම්මවයි යා කරන ආදරණීය ජීව බන්ධනය.

සති දෙකක් තුනක් වෙලා වැදෑමහෙන් සම්බන්ධ වෙනකම් මං පෝෂණය වුණේ ගර්භාෂයේ, පැලෝපීය නාලවල ආස්තරණ පටලවලින් ස්‍රාවය වන ග්ලූකෝස්වලින්.

මගෙන් නිපදවෙන ගොනැඩොට්‍රොෆින් හෝර්මෝනය (එච් සී ජී) නිසා ඔන්න අම්මගෙ ඔසප් චක්‍රයට නව මාසයක විරාමයක් ලැබිලා.

 

උපදෙස්

නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ

විජිත් විද්‍යාභූෂණ

2019/08/14 තරුණි බලන්න