ගැබිනි සමයේ

වසන්තය උදාවෙලා
අගෝස්තු 28, 2019

අමාරුම මාස තුන ගෙවිලා ගියා. හිතට වගේම ගතටත් දැනෙන්නෙ පුදුම සහනයක්. උදෑසන අපහසුතා හොඳටම අඩුවෙලා. මෙච්චර දවසක් මං අම්මා කෙනෙක් වෙන්න යන බව පිටින් බලලා කාටවත්ම කියන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ.

ඒත් තවදුරටත් ඒ සුන්දර රහස හංගන්න නම් බැහැ. ගර්භණී අම්මලාට තියෙන ලස්සන ඇඳුම් ටිකක් ගත්තා. උදර ප්‍රදේශය දවසට දෙකට විශාල වෙනවනෙ.

අපහසුතා අඩුවුණත් පුංචි පුංචි වෙනස්කම් දිගටම සිද්ධ වෙනවා. ඇඟට වෙනදා නැති ශක්තියක් දැනෙනවා. පළමුවැනි මාස තුනේදි තරම් දැන් පියයුරු මෘදු නැහැ. ඒත් විශාලත්වය නම් වැඩි වෙනවා. මේකට හේතු දෙකක් බලපානවලු. එකක් කිරි ග්‍රන්ථි විශාල වෙන එක. අනෙක මේදය තැන්පත්වීම වැඩිවීම. මේ දෙකින්ම වෙන්නෙ මගේ ළමැද චූටියාගේ එකම ආහාරය වෙනුවෙන් සූදානම් වීම. දැන් තන පුඬු වටා කළු පාට ගතිය වැඩි වෙලා. පුංචි පුංචි නෙරීම් පිරිලා. මේ නෙරීම්වලින් තෙල් වගේ දෙයක් නිපද වෙනවා. ඒකෙන් තන පුඬු වේළෙන්නෙ නැතුව තියෙනවා.

පැටියගෙ රන් කිර, ජීවන දියරය කොලස්ට්‍රම් දෙවැනි මාස තුනේදී ටික ටික එරෙන්න ගන්නවා. පියයුරුවල වගේම උදරයේත් සමේ ඇදුණු ලකුණු මතුවෙලා. මේවා දරුවා බිහි කළාට පස්සෙ තුනී වෙලා යනවා.

සමහර අම්මලාගේ මේ කාලෙදි වෙනස්කම් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම උදරයේ සම වියළෙනවා. සම කසනවා. මේ කාලෙදි සම ඉර එළියට වැඩිපුර සංවේදීයි. ඒ නිසා හම පිච්චෙන්න තියෙන ඉඩත් වැඩියි.

පෙකණියේ ඉඳලා පහළට වැටිලා තියෙන සියුම් රෝම රේඛාව තද පාට වෙන්න අරන්. කැපිලා පේනවා. මෙහෙම වෙන්නෙ වැදෑමහෙත් ඊස්ට්‍රජන් වැඩිපුර නිපදවෙන නිසයි.

නිදා ගන්නකොට දෙපාවල කෙණ්ඩා පෙරළෙන ගතියක් දැනෙනවා. පැටියා සීග්‍රයෙන් වැඩෙන නිසා ස්නායුවලට, රුධිර නාලවලට පීඩනයක් එල්ල වෙනවා. පීඩනය දෙපාවලට බලපානවා. පැත්තකට හැරිලා නිදා ගත්තම කෙණ්ඩා පෙරළෙනවා අඩුයි.

ගර්භාෂය විශාල වෙන නිසා අමාශයේ යුෂ උගුරට එනවා. උඩු අතට නිදා ගත්තම මේ ගතිය වැඩි වෙනවා. මේ කාලෙට අමුතු අමුතු හීන පේනවත් වැඩියි.

ආමාශ දාහය බඩේ දැවිල්ල, උගුරට ආමාශ යුෂ උනන ගතිය වැඩි නම් අධිකව කුළුබඩු දාපු කෑම බීම, ඇඹුල් කෑම වර්ග, බැදපු කෑම බීම අඩු කරන්න උපදෙස් දෙනවා.

ලොකු කෑම වේල් තුනක් ගන්නවට වඩා කෙටි කෑම වේල් කීපයක් දවස පුරාම ගන්න එකෙන් මේ අපහසුතා අඩු වෙනවා.

ඔළුව ඉස්සෙන්න වැඩිපුර කොට්ට තියා ගත්තමත් අම්මලාට සහනයක් දැනෙනවා. දරුවා වැඩෙන නිසා තුනටියට පීඩනයක් එල්ල වෙනවා. මේ පීඩනය අඩු කරන්න දණහිස් අතරත්, උදර පෙදෙස යටත්, කොන්දේ පිටි පස්සටත් කොට්ට තියා ගන්න පුළුවන්.

පළමුවැනි මාස තුනේදී වැඩිපුර නින්දක් ලබා ගත්තා. ඇඟට දුර්වල ගතියක් දැනෙන නිසා වැඩිපුර නිදා ගත්තම හොඳයි. මේ කාලෙදිම වම් ඇලයට නිදා ගන්න පුරුදු වුණු නිසා දැන් ඒක හුරුවෙලා. වම් ඇලයට නිදාගත්තම පැටියට වැඩිපුර ඔක්සිජන්, පෝෂකවලින් සාර රුධිරය ගමන් කරනවලු.

පළමුවැනි මාස තුනේදි ඔක්කාර ගතියෙන්ම අවදි වෙන අම්මලා ඉන්නවා. ඒ වගේම ඒ කාලෙට රෑටත් මුත්‍රා පිට කරන්න අවශ්‍ය වෙන නිසා නින්දට බාධා සිද්ධ වෙනවා. දෙවැනි මාස තුනේදි ඒ අපහසුතා අඩු වෙනවා.

2019/08/28 තරුණි බලන්න