වයසට ගියත් නීරෝගිකම රැක ගන්න

ඔක්තෝබර් 9, 2019

ලෝක වැඩිහිටි දිනයේ උණුසුම තවමත් මැකී ගොස් නැත. 2050 වන විට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 ට වැඩි ජනගහනය 29% දක්වා ඉහළ යයි. වැඩිහිටියකු බවට පත් වන්නේ වයස අවුරුදු හැට ඉක්ම වූ පුද්ගලයෙකි. වයස අවුරුදු 65 ඉක්ම වූ පසු ඔහු/ඇය වයෝවෘද්ධය. පවුලක ජීවත්වන අත්දැකිම්වලින් පරිපූර්ණ පුද්ගලයා වන්නේ වැඩිහිටියාය.

මිත්තණියගේ, මුත්තණුවන්ගේ රසබර කතා කෙනකුට ජීවිතය පුරාම මතක සිටින්නේ සුන්දර සිහිනයක් පරිද්දෙනි. ජීවත් වී ලබා ගත යුතු අත්දැකීම් ජීවත් නොවී ලබා දෙන කාර්යබහුල දිවියක් ගෙවන පවුලේ සාමාජිකයන් අතර ආදරය, කරුණාව, අත්දැකීම් බෙදා දෙන වැඩිහිටියා අප අපට හැකි උපරිමයෙන් රැක බලා ගත යුතුය. ඒ ඔවුන් බාල, තරුණ වයසේදීට වඩා මහලු වයසේදී රෝගාබාධයන්ට ගොදුරු විය හැකි බැවිනි. වයස අවුරුදු 60, 65 ක් වන විට කෙනකු ආතරයිටිස්, හෘද රෝග, පිළිකා, ස්වසන රෝග, ඇල්ෂයිමර්, ඔස්ටියෝපොරෝසිස්, විෂාදය, දියවැඩියාව, දන්ත රෝග, නියුමෝනියාව, තරබාරුකම ආදී සෞඛ්‍ය ගැටලු රැසකින් පීඩා විඳියි.

වියපත් වනවිට සිරුර නොයෙකුත් රෝගාබාධයන්ට ගොදුරුවීමේ ප්‍රවණතාව ඉහළය. රුධිර පීඩනය ඉහළ යාමට, අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාමට වැඩි අවදානමක් පවතී. එනිසාම ආඝාතය, හෘද රෝග වැලඳීමේ වැඩි ඉඩක් පවතී. මුඛ සෞඛ්‍ය පිරිහෙන්නේ මුවේ වියළි බව සහ කුහර සෑදීමේ අවදානම වයසත් සමඟ ඉහළ යන නිසයි.

* වයස ගියත් තරුණ වෙන්න

රැලි වැටුණු, එල්ලුණු සම, සුදු පැහැ ගැන්වෙන කෙස්, වියපත් වීමත් සමඟ බොහෝ කාන්තාවන්ගේ සිතේ ඇඳෙන රූපයයි. එහෙත් තවත් බොහෝ වෙනස්කම් සිදු වෙයි.

අපේ හෘදයට රුධිරය සපයන නාල පද්ධතිය ඝන වී හෘදයට රුධිරය පොම්ප කිරීම වඩාත් දුෂ්කර වෙයි. හෘදයේ මාංසපේශි වැඩි කාර්ය භාරයක් සිදු කිරීමට උචිත ලෙස සකස් වෙයි. හද ගැස්මෙහි වෙනසක් සිදු නොවෙයි. වැඩි වෙහෙසක් ගෙනෙන කාර්යයක නිරත වුණත් හෘද ස්පන්දන වේගයේ වෙනසක් වන්නේ නැත. මේ සියලු කාරණා අධික රුධිර පීඩනයට, හෘදයාබාධවලට මඟ පාදයි.

මේ තත්ත්වයෙන් සහනයක් ලැබීමට

* ඇවිදීම, පිහිනීම වැනි ව්‍යායාමයක දිනපතා යෙදෙන්න. උසට සරිලන බරක් පවත්වාගෙන යන්න.

* එළවළු, පලතුරු, ඇට වර්ග, ධාන්‍ය, මාළු හැකි තරම් ආහාරයට ගන්න. තෙල්, ලුණු, සීනි අධික ආහාර නොගෙන සිටින තරමට ගුණදායකය. ආතතිය කුමන වයසකදී වුව ද ශරීර සෞඛ්‍යයට කරන්නේ බරපතළ හානියකි. භාවනා කිරීමෙන් යෝග මඟින්, ව්‍යායාම කිරීමෙන්, කථන චිකිත්සාවෙන් ආතතිය අඩු කළ හැකිය.

වයසත් සමඟ නින්ද පිළිබඳව ද ගැටලු මතු වෙයි. එහෙත් හෘද වස්තුව, රුධිර නාල පණ ගැන්වීමට පැය හතක, නවයක නින්ද අවශ්‍යය. තරුණ වයසේ සිට එකම වේලාවකට නින්ද යාම, නින්දට පැය කීපයකට පෙර තේ, කෝපි පානය නොකිරීම, ව්‍යායාම කිරීම සුවදායක නින්දකට ද වැදගත් වෙයි.

* අස්ථි, සන්ධි, මාංසපේශිවල විශාල පෙරළියක් සිදු වෙයි. ප්‍රමාණයෙන් අස්ථි ධාරිතාව අඩු වෙයි. අස්ථි දුර්වල වී ගැටීමකදි ඉක්මනින් කැඩී බිඳී යාමේ අවදානමක් ඇති වෙයි. වියපත් වීම සමඟ උස ද තරමක් අඩු වෙයි. මාංස පේශීන්වල ශක්තිය, නම්‍යශිලීභාවය, දරාගත හැකි බව අඩු වෙයි. ශරීර සමබරතාව අහිමිවීමට මෙය ප්‍රධාන හේතුවකි.

 

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයක් ඇසුරිනි

 

2019/10/09 තරුණි බලන්න