ව්‍යායාම කිරීමෙන් පියයුරු පිළිකා අවදානම අඩු කරගත හැකියි

ඔක්තෝබර් 30, 2019

මේ ලොව සියලු දෙනාම මවු කිරි රස බලා මවු කිරේ බලයෙන් ජීවත්වන්නන්ය. අවසානාවකට ලොවකට ජීවය දෙන මවු දෙතන පිළිකා රෝගයට ගොදුරු වුවහොත් එය නිසි කල හඳුනා නොගෙන ප්‍රතිකාර නොකළහොත් ජීවිතයක් දෙන මේ ජීව බලාගාරය රෝගී වීම නිසාම අකාලයේ මරු වසගයට යාමට සිදුවෙයි.

අපේ රටේ පියයුරු පිළිකාවෙන් පීඩාවිඳින පුද්ගලයන් 3500 ක් පමණ වාර්ෂිකව හඳුනා ගන්නා අතර ඉන් සියයට 99 ක්ම කාන්තාවන්ය. ඒ අතර සියයට 1 ක් පිරිමින් වන බව තවමත් වැඩි දෙනෙක් නොදනිති. පියයුරු පිළිකාවට ගොදුරුවූ කාන්තාවන්ගෙන් 1/3 ක් ප්‍රතිකාර පතා පැමිණෙන්නේ රෝගයේ අවසන් අදියරවලදී පීඩා විඳිද්දීය. ඒ තත්ත්වයට පත්වූ පසු කුමන ප්‍රතිකාර කළ ද සුවයක් ලද නොහැකිය. මුලදී රෝගය හඳුනා ගතහොත් පහසුවෙන්ම ප්‍රතිකාර කළහැකිය.

ඇතැම් කාන්තාවන් පියයුරු පිළිකා රෝගයට ගොදුරු වුවත් කිසිදු රෝග ලකුණක් පෙන්නුම් කෙරෙන්නේ නැත. එනිසා වයස අවුරුදු 35 ඉක්මවූ පසු සෑම කාන්තාවක්ම වසර දෙකකට වරක් හෝ සායනයකට ගොස් පියයුරු පිළිකා පරීක්ෂාවක් කරගැනීම වැදගත්ය. මාසික ඔසප් වීම සිදුවී දින 10 කට පසුව ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගත යුතුය. ආර්තවහරණය වූ පසු මාසිකව එක් දිනක් තෝරා ගෙන ඒ දිනට ස්වයං පරීක්ෂාවක් කරගත හැකිය.

පියයුරුවල ගැට ඇතිවීම සාමාන්‍ය ය. මෙසේ ඇතිවන ගැට බොහොමයක් ( සියයට 90 ක්ම )පිළිකාමය ගැට නොවෙයි. එහෙත් පියයුරු පිළිකාවක මූලික ලකුණු වන්නේ ගැටිත්තක් තිබීම සහ පියයුරුවල පෙර නොතිබුණු ඝනකමක් ඇතිවීමයි.

 

මීට අමතරව

* පියයුරු දෙකේම හෝ එක පියයුරක ප්‍රමාණයේ වෙනසක් සිදුවීම

* තන පුඬුවලින් ( දෙකෙන්ම හෝ එකකින් ) ස්‍රාවයක් පිටවීම - රුධිරය සහිත ස්‍රාවයක්

* පියයුරු සමේ වළගැසීම් , තනපුඬු වටේ පලු ඇතිවීම

* තන පු‍්‍රඬුවල ස්වභාවයේ වෙනසක් සිදුවීම ( තන පුඬු ඇතුළට ගිලී යාම )

 

 

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ

සුරාජ් පෙරේරා

2019/10/30 තරුණි පුවත්පත බලන්න