පිළිසිඳ ගැනීමක් වූ විට මාස් ශුද්ධිය පවතී ද?

නොවැම්බර් 6, 2019

ප්‍රශ්නය

මම 30 හැවිරිදි විවාහක කාන්තාවක්. විවාහ වී දැනට අවුරුදු 8 කි. සැමියා සේවය කරන්නේ යුද හමුදාවේය. මම කිසිදු උපත් පාලන ක්‍රමයක් භාවිත නොකරමි. මට දරුඵල නොමැති නිසා සිංහල, ඉංගී‍්‍රසි බෙහෙත් කළ ද ප්‍රතිඵලයක් ලැබුණේ නැත.

අපගේ ප්‍රදේශයේ එක්තරා මෑණී කෙනෙක් දරු සම්පත් නැති අයට දරුවන් ලබා දෙන්නීය. එහි යන හැම දෙනාටම දරුඵල ලැබේ. දිනකට 200ක් පමණ පැමිණෙති. එම මෑණියන් ළඟට ගිය පසු මා ද ගැබ් ගෙන දැනට මාස 2කි.

එහෙත් මාස් ශුද්ධිය සිදු වේ. මෑණියන් පැවසුවේ පටල කොටස් ඉවත් වීමට එසේ සිදුවන බවයි. වෛද්‍යතුමනි මාස් ශුද්ධිය නිසා මාගේ කළලයට හානියක් වේද? උපදින දරුවා නිරෝගී වේවි ද? මා සායනයට යන්නේ ද නැත. පිළිසිඳ ගැනීමෙන් පසු වෛද්‍යවරයකු හමු වූයේ ද නැත.

 

පිළිතුර

විවාහ වූ යුවළකට දරුවන් නොපිහිටීම විවිධ හේතු නිසා සිදුවන්නකි. සමහරුන්ට කායික හේතු ද සමහරුන්ට මානසික හේතු ද නිසා එසේ සිදු වේ. වැඩිපුරම දරුවන් නොපිහිටන්නේ පුරුෂයන්ගේ ආබාධ නිසාය. මත්ද්‍රව්‍ය, මත්පැන් ආදියට ඇබ්බැහි වූ පුරුෂයන්ගේ ශුක්‍රාණුවල ක්‍රියාකාරීත්වය ද අඩුය. මෙවැනි ක්‍රියා නිසා අප රටේ ඇතැම් පුරුෂයන්ගේ ශුක්‍රාණුවල සරුබව අඩුය. එමෙන්ම නිවැරැදි ආහාර රටාවක් නොමැතිකම, අඩු වයසෙන්ම දියවැඩියාව, කොලෙස්ටරෝල් ආදී තත්ත්වයන් ඇතිවීමත්, එයට හේතු වේ. ඒ සමඟම සමහරු මානසික ආතතියෙන් සිටීම, විශේෂයෙන්ම හමුදා වැනි විවිධ සේවාවල සේවය කරන ඉඳහිට මාස දෙක තුනකට වරක් පමණක් පැමිණෙන සැමියන් නිසා වසර ගණනාවක් දරුවන් නොපිහිටන අවස්ථා තිබේ. එවැනි භාර්යාවෝ මානසික ආතතියෙන් පෙළෙති. එසේ වුවද කලක් ගිය පසු දරුවන් පිහිටන අවස්ථා ද ඇත.

මානසික කරදර ආදිය අඩු වී හොඳ ආහාර රටාවකට යොමු වූ විට දරු සම්පත් ලැබෙන අවස්ථා ඇත. එසේ නොමැතිව දරු ඵල ලබාදෙන මෑණිවරුන් කියා කොටසක් නැත. මෙය මිත්‍යාවකි. ඇතැම්විට මෙවැනි පුද පූජා හෝ වෙනත් එවැනි ක්‍රමවලින් දරුවන් ලබාගැනීමට යන්නේ අසරණ වීම නිසාය. දරුඵල නොපිහිටන බොහෝ දෙනෙක් අවසාන වශයෙන් මෙවැනි දේට යොමුවෙති. මේවා සියල්ලක්ම වෛද්‍ය විද්‍යාවට පටහැනි මිනිසුන් රවටන වංචනික ක්‍රමයන් ය.

මෙවැනි අය ළඟට යන ඇතැමුන්ට මානසික ආතතිය ආදිය නැති වී කලක් ගියවිට ඉබේටම දරුවකු ඇතිවිය හැකියි. වංචනිකයන් කරන්නේ එවැනි දෑ ප්‍රසිද්ධ කර තම ව්‍යාපාරය කරගෙන යාමයි. එම කාන්තාව කියන ආකාරයට දරුවකු පිළිසිඳ ගත්තා නම් කොහෙත්ම මාස් ශුද්ධියක් ඇතිවිය නොහැකියි. දරුවකු ලබාගැනීම පිළිබඳ හිතේ පවතින ආශාව නිසා සමහර කාන්තාවන්ට දරුවන් නැතැයි යන්න හිතෙන් පිළිගැනීමට තිබෙන අකැමැත්තට දරුවන් පිළිබඳ ගැනීමේ ලක්ෂණ වැනි දෑ පහළ වේ. ශාන්ති කර්ම ආදිය ඒ බලාපොරොත්තුවෙන් සිදු කරන විට එවැනි ලක්ෂණ පහළ වේ. එසේ සිදුවන්නේ මානසිකවය. එවිට පවුලේ සියලු දෙනාම සතුටු වෙති. එය දරුවකු පිළිසිඳ ගත්තා කියා තම සිතේ ඇතිවන මායාවක් වැනි ක්‍රියාවකි. මෙය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ ‘සියුඩෝසිස් ‘ යනුවෙනි. ලතින් භාෂාවෙන් සියුඩෝ කියන්නේ ‘බොරුව‘ යන්නටය. මෙය දරුවකුª පිළිසිඳ ගත්තා වැනි මානසික හැඟීමකි. එවිට කාන්තාව ඒ ආකාරයෙන් පරෙස්සමෙන් ඇවිදියි. හැසිරෙයි. උදයට සෑදෙන කෑම අරුචිය වමනය වැනි ලක්ෂණ පහළ වේ.

සැමියාට ලිංගික අකර්මණ්‍යතාව තිබෙන විටෙක බොහෝ කාන්තාවන් සියුඩෝසිස් නම් රෝගී තත්ත්වයට පත් වේ. ඔබට සැබැවින්ම දරුවකු පිළිසිඳගෙන ඇද්ද යන්න ඉතාමත් නිවැරැදිව පරීක්ෂා කළ හැකි 100% ක්ම සාර්ථක පරීක්ෂණ ගණනාවක් ඇත.

මුත්‍රා පරීක්ෂණය, ලේ පරීක්ෂාව, එසේත් නොමැතිනම් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකක් කිරීමෙන් ඔබට පිළිසිඳ ගැනීමක් සිදුවී ඇද්ද යන්න ඉතාමත් නිවැරැදිව දැනගත හැකියි. අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකෙන් දරුවා කුස තුළ සිටින ආකාරය දැකගත හැකියි. පිළිසිඳ ගැනීමේ මුල් අවස්ථාවේ එනම් සති දෙකේ සිටම බලාගත හැකියි. ඒ සඳහා හැකි ඉක්මනින් ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරයකු හමුවන්න.

ලෝකයේ වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණු තත්ත්වයක පවතින යුගයක විවිධ මිත්‍යා විශ්වාස පසුපස යාමෙන් ඔබට කිසිදු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත.