ඔබත් නිරෝගී ඔසප් චක්‍රයකට

හිමිකම් කියන්නේ ද?
නොවැම්බර් 13, 2019

 

ඔසප්වීම සාමාන්‍ය පරිදි සිදුවීම හෝ නොවීම කාන්තාවන්ගේ නිරෝගීබව හා වෙනත් සාධක මත රඳා පවතී. බොහෝ දෙනා දන්නා පරිදි නිවැරැදි ඔසප්වීමක් යනු මසකට වරක් ක්‍රමානුකූලව සිදුවන චක්‍රයකි.

ඔසප් විම යනු

මෙය මල්වරයේ සිට ආර්තවය නවතින වයස තෙක් ප්‍රජනන අවධියේ (දරුවකු ලැබීමට හැකියාව ඇති වයසේ) පවතින කාන්තා ශරීරය තුළ ක්‍රියාත්මක වන චක්‍රයකි. මෙම චක්‍රය ආශි‍්‍රතව සිදුවන ඩිම්බ පරිණතිය, ගර්භාෂයේ පටල නැවත නැවතත් අලුත්වීම ආදී ශාරීරික ක්‍රියාවලීන් හේතුවෙන් සෑම මසකදීම කාන්තා සිරුර ගැබ් හට ගැනීමකට සුදුසුකම් සපුරයි. අතිශය ස්වාභාවික තත්ත්වයක් වන මෙම චක්‍රය මිනිසා තුළ පමණක් නොව අනෙකුත් සත්ත්ව විශේෂයන් තුළ ද දැකිය හැකියි.

නිවැරැදි ඔසප්වීමක කාල පරාසය

නිරෝගී තත්ත්වයන්හිදී සෑම දින 28 කට වරක් ඔසප් විය යුතු බව සම්මතයයි. ආයුර්වේදයේ මෙම කාලය චන්ද්‍ර මාසයක් ලෙස දක්වයි. නිරෝගි ඔසප්වීම දින 28 න් ම නොවුණත් දින 25 සිට 35 අතර කාල පරාසයක දී සැම මසකම පවතී නම් එය සාමාන්‍ය තත්ත්වයි. මේ අනුව යම් කාන්තාවකට අවමය දින 25 කට වරක් සිට උපරිමය දින 35 කට වරක් මාස්විම සිදුවේ නම් එය නිරෝගී ඔසප් චක්‍රයක් සේ වටහා ගත යුතුය.

ඔසප් පවතින දින ගණන හා පවතින ප්‍රමාණය

සාමාන්‍ය තත්ත්වයන් යටතේ ඔසප් රුධිරය දින 3 ක සිට දින 7 ක උපරිමයක් දක්වා පැවතිය හැකියි. මෙම දින ගණනට වඩා අඩුවීම හෝ වැඩිවිම හෝ අසාමාන්‍ය තත්ත්වයකි.

මෙය තවදුරටත් පැහැදිලි කළහොත් යම් කාන්තාවකට මසකට වරක් පිටවන රුධිරය දින 3, 4, 5, 6 හෝ උපරිමය දින 7 ක් හෝ පැවතිම සාමාන්‍ය ය. මේ කාලය තුළ එක් එක් දිනවල පිටවන ප්‍රමාණය වෙනස්වීම එක් එක් කාන්තාවට සාපේක්ෂ වේ. සමහරකට ස්වල්ප වශයෙන් ආරම්භ වී රුධිර වහනයක් බවට පත්වන අතර සමහර කාන්තාවනට අවසන් දින කිහිපයේ අඩු රුධිර ප්‍රමාණයක් පිටවීම සිදුවිය හැකියි.

ප්‍රමාණය සම්මත වශයෙන් එක් ඔසප් චක්‍රයක දී මිලිලීටර් 50 - 80 අතර ප්‍රමාණයක් වියයුතු බව සඳහන් ය. මෙය ප්‍රායෝගිකව මැන බැලීම අපහසුවන අතර ඒ සඳහා අදහසක් ලබාගැනීමට දිනකට සනීපාරක්ෂක තුවා 2 - 3 ක් ප්‍රමාණවත්විම හෝ එක් චක්‍රයක් සඳහා උපරිමය වෙළෙඳපොළේ පවතින සනීපාරක්ෂක තුවා පැකැට්ටුවක් ප්‍රමාණවත් වීම සාමාන්‍ය රුධිර වහනයක් හඳුනා ගැනීමට හොඳ මිනුමකි.

 

උපදෙස් - කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධිත දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය

රාජගිරිය ආයුර්වේද

ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව ආයුර්වේද 

විශේෂඥ වෛද්‍ය කෞමදී කරුණාගොඩ

 

 

2019/11/13 තරුණි බලන්න....

 

 

2019/11/13 තරුණි බලන්න....