පසු ප්‍රසව විශාදයට ප්‍රතිකාර අවශ්‍යයි

දෙසැම්බර් 25, 2019

දරු ප්‍රසූතියත් සමඟ නව මාසයක අසිරිමත් චාරිකාව අවසන් වෙනවා කියා සිතුවොත් වැරැදියි. මේ දිගු කාලයේදී මොනතරම් ශාරීරික වෙනස්කම් මානසික වෙනස්කම් සිදු වෙනවාද ? යළි සිරුර සාමාන්‍ය තත්ත්වයට පත්වීමට කාලයක් ගත වෙනවා.

සමහර අම්මලා ගර්භණී කාලයේදී දියවැඩියාවට ගොදුරු වෙනවා වගේ ගර්භණී කාලයෙන් පසු විශේෂ විෂාදීය තත්ත්වයකට ගොදුරු වෙනවා. මේවා ගැබිනි කාලෙට ආවේණික තත්ත්ව. එය හඳුන්වන්නේ පසු ප්‍රසව විෂාදය කියලා. මේ තත්ත්වයට දරුවන් බිහිකරන මවුවරුන් දහ දෙනකුගෙන් එක් අම්මා කෙනෙක් ගොදුරු වෙනවා.

පසු ප්‍රසව විෂාදය අම්මලාට විවධාකාරයෙන් බලපානවා. දරුවා ඉපදී අවුරුද්දකදී කුමන හෝ අවස්ථාවක ක්‍රමයෙන් හෝ එක්වරම මෙය ඇතිවන්න පුළුවන්. ගොඩක් වෙලාවට දරුවා ඉපදී පළමු සතියේදී කාංසාවක්, පීඩාවක්, මානසික පසුබෑමක් ඇතිවෙනවා. මෙය “ බේබි බ්ලූස් “ ලෙස හඳුන්වනවා. මේ තත්ත්වය අහිංසකයි. දරුවා ඉපදී සති දෙකකට වැඩි කාලයක් පවතින්නේ නැහැ. ප්‍රසූතියෙන් පසු සිදුවන සීඝ්‍ර හෝර්මෝන සහ රසායනික පෙරළිය මීට වගකිව යුතුයි.

මෙවිට,

* පැහැදිලිකරගත හැකි කිසිදු හේතුවක් නොමැතිව හැඟීම්බරවී කෑගසා හඬන්නට ගනියි.

* නොරිස්සුම් සහගත වෙයි. මානසිකව පසු බායි.

* අවිවේකී බවක් කාංසාවක් ඇතිවෙයි.

මේ ලක්ෂණ ගැන කලබල වෙන්න ඕන නැහැ. දින කීපයකින් නැති වී අම්මාට වෙනදා මෙන් සතුටින් ඉන්න පුළුවන්.

පස ප්‍රසව විෂාදය මීට වෙනස්. පසුප්‍රසව විෂාදයට මවුවරුන් දස දෙනකුගෙන් එක් අයකු ගොදුරු වෙනවා. මේ වගේ අම්මලා නිහඬව සිටින නිසා සැමියාටවත් නෑයන්ටවත් අන් අයටවත් එයාලගෙ හැඟීම් ගැන තෙරුම් ගන්න බෑ. සාමාන්‍යයෙන් දරුවා ඉපදී සති 2 - 8 පස්සේ වසරක් තුළ මේ තත්ත්වය ඇති වන්න පුළුවන්. සමහර වෙලාවට දරුවා ඉපදිලා අවුරුද්දකට පස්සෙත් මේ තත්ත්වය ඇති වන්න පුළුවන්.

පසු ප්‍රසව විෂාදයෙන් පීඩා විඳින විට දැඩි ලෙස දොම්නස් බවක් දැනෙනවා. පමණට වඩා තමන් ගැනත් දරුවා ගැනත් හිතන්න ගන්නවා.

මේ වගේ අම්මා කෙනකකුට

  •  දරුවා ගැන ආසාව නැති වෙලා යන්න පුළුවන්.
  •  බලාපොරොත්තු සුන්වූ ගතියක් දැනෙනවා.
  •  හැඬීම නතරකර ගන්න බැරි වෙනවා.
  •  කිසිදෙයක් දරා ගන්න බැරි වෙනවා.
  •  කිසි දෙයකින් සතුටු වෙන්න බැරි වෙනවා. (වෙනදා සතුට ලැබූ කිසිවකින් සතුටක් ලබන්න බැරි වෙනවා.)
  •  සිත එකඟ කරගන්න බැරි වෙනවා.
  •  අමතක වෙනවා.
  •  දරුවා ගැන වැඩිපුර කාංසාවක් ඇති වෙනවා.

 

නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ විජිත් විද්‍යාභූෂණ

 

2019/12/23 තරුණි බලන්න