මවු කිරි දීමෙන් ලෝකයේ පළමු තැන ලංකාවට

ජනවාරි 29, 2020

දරුවකු බිහි කළ දා සිට රුහිරය කිරට හැරී එරෙන අසීමාන්තික කිරි ප්‍රවාහය මවකගේ උත්තරීතර සෙනෙහසේ ප්‍රතිමූර්තියකි.

මවු කිරෙන් දරු පැටියාගේ කුස පමණක් නොව ආත්මයම පිරී යයි. ගැටවර වියට පිවිසි දරුවා නාවන, එවැනි දරුවන්ට බත් කවන තරමට අපේ අම්මලා දයාබරිතය. කෙතරම් උස් මහත් වුව ද ශ්‍රී ලාංකේය අම්මලාට දරුවන් අත දරුවන් හා සමානය. අපේ අම්මලාගේ දරු සෙනෙහස මිහිපිට කිසිම මවකගේ සෙනෙහසට සමකළ නොහැකි තරමට ඉහළය. අපේ අම්මලා මවු කිරි දීමෙන් ලොව පළමු තැන දිනීමම ඊට සාක්ෂියකි.

ලෝකයේ මවු කිරි දීමේ ප්‍රවණාතා ඇගයීමේ වැඩ සටහන මඟින් කළ සමීක්ෂණයෙන් පසු ලංකාව පළමු තැන දිනා ඇත. ඒ අනුව ලංකාවට හරිත වර්ණ කේතය පිරිනැමිණි.

ලෝක මවු කිරි දීමේ ප්‍රවණතා ඇගයීමේ වැඩ සටහන ලෝ පුරා රටවල් 120 ක් නියෝජනය කරන වැඩ සටහනකි. එමඟින් නිර්ණායක දහයක් පාදක කර ගනිමින් රටවල් ශ්‍රේණි ගත කරයි. ඒ ශ්‍රේණිගත කිරීමේදී ලංකාව 100 න් 91 ක්ම ලකුණු ලබා ප්‍රථම ස්ථානය දිනාගෙන සිටියි.

කලක සිට ලංකාව උපන්දා සිට මාස හයක් යනතුරු දරුවන්ට මවු කිරි පමණක් දෙන රටවල් දහය අතරේ සිටි අතර ප්‍රථම ස්ථානයට පත් වුණේ මේ වසරේදීය.

“ගස් ගල් කඩන්න තරම් මට හයිය හත්තිය ලැබුණෙ අම්මා දීපු කිරි ටිකේ බලයෙන්” යයි පැවසූ අපේ වීරයන් ඕනෑ තරම්ය. “කිරි රස දන්නෝ මවු හඳුනන්නෝ” යන පද වැල මවු කිරි රස බැලූවන්ගේ ගුණ මහිමය කියාපායි.

ලොව සුන්දර වන්නේ මවගේ කිරිවලින් සහ හිරුගේ කිරණවලින් කියා මැක්සිම් ගෝකි සාහිත්‍යධරයා පැවසීමට පෙර අපේ අම්මලා ඒ පරම සත්‍ය දැන සිටියේය. ඒ නිසා ‘දරුවාට මවු කිරි දීම‘ පන්තියක පාඩමක් මෙන් මවුවරුන්ට නිරන්තරයෙන්ම කියා දීමට සෞඛ්‍ය බලධාරීන්ට අවශ්‍ය වූයේ නැත. මෙතෙක් කළේ ආදරණීය සිහි ගැන්වීමක් පමණි. දරුවා ඉපදීමට පෙරත් උපන් දා සිටත් අම්මාට කිරි දීම සඳහා අවශ්‍ය දැනුම දීමට, කිරිදීමේ ගැටලු මතු වූ විට විසඳා දීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය ඉත සිතින් දායක වෙයි. කිරි දීමේ ගැටලු විසඳීමට, නිවැරැදිව කිරි දීම පුහුණු කිරීමට සෑම දිස්ත්‍රික්කයකම රෝහල්වල මවු කිරි කළමනාකරණ මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

ශ්‍රේණිගත කිරීමේදී මවු කිරි දීමෙන් ලද සියයට අනූ එකක් වූ ලකුණු සංඛ්‍යාව සියයට සියයක් කර ඉතිහාස ගත වීම අපේ රත්තරන් අම්මලාගේ ඊළඟ ඉලක්කය විය යුතුයි. එසේ ඉලක්ක ගතවීමෙන් අපේ දරු පරපුරටත් අම්මලාටත් අසමසම සෞඛ්‍ය වාසි රැසක් හිමි කර ගත හැකියි.

උපදෙස් - ද සොයිසා කාන්තා රෝහලේ 
නව ජන්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය
නිශානි ලූකස් සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන්
 

2020/01/29 තරුණි බලන්න