මේ දිනවල පවතින අධික උණුසුමෙන් පරෙස්සම් වෙමු

මාර්තු 4, 2020

“අප්පා..... පුදුම රස්නයක්නේ.....

මේ අව්ව සැර ඉවසන්න බැහැ.... “ මේ දිනවල කාගෙත් මුවෙන් පිටවෙන්නේ මේ වගේ වචන පෙළක්. මාස ගණනක් වැස්ස වැහැලා දැන් පායනවා.

වැස්සට දෙස් තියපු අපි දැන් අව්වට බනිනවා. මේ කාලගුණ විපර්යාසය තව දින ගණනක් පවතියි කියලා තමයි කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

සාමාන්‍යයෙන් සෞම්‍යය දේශගුණයකට හුරුවුණු අපට මේ දේශගුණය තරමක් නුහුරුයි. ඒ නිසාම විවිධ සංකූලතා ඇතිවෙනවා. Heat Stroke කියන්නේ එවැනි තත්ත්වයක්. තරමක් භයානක වූ මේ තත්ත්වය දැනගැනීම සඳහා කතා කළේ වෛද්‍ය අමාත්‍යාංශයේ තරුණ, වැඩිහිටි සහ ආබාධිත ඒකකයේ වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය සමිතා සමන්මලී මෙනවියට. ඇය අපට දැක්වූ උපදෙස් පෙළ මේ දිනවල එළිමහනේ වැඩකරන, ක්‍රීඩාකරන සැම දෙනාටම ඉතාම වැදගත්.

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හා අව් රස්නය ඇතැම් අයට දරාගැනීම අපහසුයි. විශේෂයෙන්ම කුඩා දරුවන් මේ දිනවල ක්‍රීඩා උත්සව සඳහා සූදානම් වෙනවා. එසේම වයස්ගත පුද්ගලයන් හිසට ආවරණයක් නොමැතිව මහමඟ ඇවිද යනවා. තවත් සමහරු එළිමහනේ වැඩකරනවා. විශේෂයෙන්ම කුඩා දරුවන් තමයි මේ අතුරින් වඩාත්ම අවදානම් පිරිස. ඔවුන් ක්‍රීඩාවට යොමු වූ විට මේ කාලගුණය ගැන සිතීම හරිම අඩුයි. ඒ වගේම ජලය පානයත් අඩු වෙනවා.

මෙවැනි හේතු නිසා ඔවුන්ට එක්වරම Heat Stroke එකක් ඇතිවෙන්න පුළුවන්. මෙහි භයානක තත්ත්වය තමයි ක්ලාන්තය දැමීම. එයට අමතරව ශරීර උෂ්ණත්වය වැඩිවීම, හිසරදය, වමනය, දහදිය දැමීම නවතින්න පුළුවන්.

මෙහිදී ඔබ මුලින්ම කළයුත්තේ එම Stroke එක ඇති වූ තැනැත්තා සිසිල් ස්ථානයකට රැගෙන යෑමයි. එසේ රැගෙන ගිය රෝගියාව තෙත තුවායකින් පිසදැමීම හෝ ආවරණය කළ යුතුයි. නැතිනම් රෝගියාගේ ඇඳුම් ලිහිල්කර හොඳින් වාතය ලැබීමට ඇඳුමක් අන්දවා හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහලකට රැගෙන යා යුතුයි.

මෙහිදී අප ජනතාවට මේ දිනවල ලබාදෙන වැදගත්ම උපදේශය වැඩිපුර ජලය පානය කරන්න. අධික උෂ්ණත්වය ඇති කාලයේ දී අධික වෙහෙස වී වැඩකිරීමෙන් වැළකී සිටින්න. දරුවන්ට කෘත්‍රිම බීම වර්ග හා කෝඩියල් වර්ග ලබාදීමට වඩා පිරිසුදු ජලය ලබාදීම ඉතාම හොඳයි. ඒ වගේම අධික සිසිල් බීම වර්ග. අයිස්ක්‍රීම් වැනි දෑ අව්වේ ගමන් කිරීමෙන් පසු ගැනීමෙන් වළකින්න. මෙවැනි දෙයින් වැළකී සිටීමෙන් ඔබට මේ අවදානමෙන් මිදෙන්න පුළුවන්.

 

අවවාදයයි

ඉදිරි දින කීපයේ දී උෂ්ණත්වය අධික ලෙස ඉහළ යා හැකි බවට රජය නිවේදනය කර ඇත.

මෙය Heat Stroke නම් මාරාන්තික තත්ත්වයක් ඇති කිරීමට හේතු වේ.

එසේ වූ විට ඔබගේ ශරීර උෂ්ණත්වය පාලනය කරන ස්වභාවික යාන්ත්‍රණය බිඳ වැටේ.

මෙය මාරාන්තික තත්ත්වයකි.

 

රෝග ලක්ෂණ

1. අධික ශරීර උෂ්ණත්වය 2. රතු වූ රත් සම

3. හිසරදය 4. වමනය / ක්ලාන්තය

5. සිහිනැති වීම 6. දහදිය දැමීම ඇණ හිටීම

 

අවදානම් කාණ්ඩය

1. වයස්ගත පුද්ගලයන්

2. කුඩා දරුවන්

3. එළිමහනේ වැඩ කරන පුද්ගලයන්

 

වෛද්‍ය උපදෙස්

1. වහාම සිසිල් ස්ථානයකට ගෙන යන්න.

2. රෝගියාට ජලය ඉසින්න. නැතහොත් තෙත

තුවායකින් ආවරණය කරන්න.

3. විදුලි පංකාවකින් සිසිල් වාතාශ්‍රය ලබාදෙන්න.

4. සැහැල්ලු ඇඳුමක් අන්දවන්න.

5. වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න.

 

වළක්වා ගැනීමේ උපදෙස්

1. ළා වර්ණ, සැහැල්ලු ඇඳුම් අඳින්න.

2. එක දිගට අව්වේ වැඩ කිරීමෙන් වළකින්න.

3. හැකි පමණ වතුර බොන්න.

4. සෑමවිටම ආවරණයක් සහිත ස්ථානයක වැඩකිරීමට උත්සාහ කරන්න.

5. බර වැඩ උදේ හෝ සවස් කාලයට යොදාගන්න.

 

 

උපදෙස් - වෛද්‍ය අමාත්‍යාංශයේ තරුණ වැඩිහිටි සහ ආබාධිත ඒකකයේ

වෛද්‍ය සමිතා සමන්මලී