එන්නත් මඟ හැරුණාට බිය වන්න එපා

මැයි 6, 2020

ගෝලීය වසංගතය නිසා කළයුතු දේ කුමක්ද නොකළ යුත්තේ කුමක්ද කියා තීරණය කළ නොහැකිව වැඩි පිරිසක් අන්දමන්ද වී සිටින මෙවන් කාලයක වැඩිපුරම අසරණ වන්නේ දරුවන් ඇති අම්මලා තාත්තලාය. එනිසාම ඔවුන් වැඩිපුරම අසරණ වී සිටින්නේ දරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධ ගැටලුවලිනි.

දරුවාගේ සුළු අසනීප තත්ත්වයක් වුවත් මවකට, පියකුට බලා සිටිය නොහැකිය. එමෙන්ම අලුත උපන් සිඟිත්තාගේ එන්නත් වේල ඇඳීරි නීතිය පවතින කාලයක ලබා දීමට නොහැකි වීම තවත් මානසික වධයකි. මෙවන් කාලයක මාපියන්ට දරුවන් වෙනුවෙන් ගත හැකි හොඳම පියවර කුමක්ද? අප මේ පිළිබඳව විමසා සිටියේ බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත වෛද්‍යවරයාගෙනි.

දරුවාට නියමිත කාලයේදී එන්නත දීමට නොහැකි වීම බොහෝ මාපියන්ට ගැටලුවක්. මඟ හැරුණු එන්නත ලබා දීමට කාලයක් තිබෙනවාද?

දරුවන්ට මාස දෙක, හතර, හය, නවය කාලවලදී එන්නත් ලබා දීමට නියමිතයි. ඒ එන්නත් ලබා දෙන්නේ දරුවන් බෝවෙන රෝගවලින් බේරා ගන්නයි. දැන් දරුවන් ඉන්නේ අම්මලා, තාත්තලා ළඟ. සමාජයට යැවෙන්නෙම නැහැ. ඒ නිසා ඒ ලෙඩ හැදෙන්න තිබෙන ඉඩ අඩුයි. එන්නත දීමට පමා වූවා කියා ගැටලුවක් මතුවන්නේ නැහැ. මොනතරම් පමා වුණත් කමක් නැහැ. ඒත් නීරෝගි දරුවා එන්නත නිසා රෝහලට රැගෙන යාමෙන් නැති රෝග තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කොරෝනා වෛරස අවදානම නැහැයි කියලා අපට සියයට සියයක්ම සහතික වෙන්න පුළුවන්කමක් නැහැ.

 ආරක්ෂිතව එන්නත දිය හැකි ක්‍රමයක් තිබෙනවා නම් ඒත් එන්නත ලබා නොදිය යුතුද?

ළඟම සායනයක් ඇත්නම් සෙනඟ නොගැවසෙන දුරස්ථභාවය හොඳීන් පවත්වා ගෙන යාහැකි තැනක් ඇත්නම් දරුවා රැගෙන ගියාට කමක් නැහැ.

 සුළු සුළු රෝගී තත්ත්වයන්ට දරුවන් රෝහලට රැගෙන නොඑන ලෙසට උපදෙස් දෙනවා.

ඔව්. මුලදී චීනය වැනි රටවලින් ලැබුණු වාර්තාවන්ට අනුව කොවිඩ් -19 දරුවන්ට එතරම් බල නොපාන බවත් රෝගය වැලඳුණත් දරුණු ලෙසින් බල නොපාන බවත් වාර්තා වුණා. ඒත් දැන් තත්ත්වය වෙනස්. අපි තවම මේ රෝගය හරිහැටි හඳුනා ගෙන නැහැ. අද තත්ත්වය නෙවෙයි හෙට තියෙන්නේ. ඒ නිසා සුළු සුළු අසනීප තත්ත්වවලට දරුවන් රෝහලට රැගෙන නොඑන තරමට දරුවන් ආරක්ෂිතයි.

අම්මලා තාත්තලා සති ගණනක් ගෙදරටම කොටු වෙලා ඉන්න නිසා කාර්ය බහුලකම නිසා මඟ හැරුණු ලෙඩ රෝගවලට පිළියම් කරන්න හදන්නේ දැන්. මේකෙන් නැති අවදානමක් ගන්නවා.

සමහර අම්මලා තාත්තලා ඈත පළාත්වල සිට රජයේ් රෝහල්වලට එනවා. රෝහලක නව කොරෝනා වෛරසය ශරීර ගතවූවන් සිටීමේ අවදානමක් තිබෙනවා.

වසංගත රෝග තත්ත්වය නිසා රිජ්වේ රෝහලේ් ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදුවෙලා තිබෙනවාද?

වෙනදා වාගේම රෝහලෙන් දරුවන්ගේ විවිධ අසනීප තත්ත්වයන්ට ප්‍රතිකාර ලබා දෙනවා. උණ සෙම්ප්‍රතිෂ්‍යාවෙන් පීඩා විඳීන දරුවන්ට වෙනම වාට්ටුවක් වෙන් කර තිබෙනවා. සැක සහිත දරුවන් කොරෝනා සඳහා පරීක්ෂා කරනවා. දැනට එවැනි දරුවන් හමුවී නැහැ. සැක සහිත දරුවන් අප වෙන් කර තබන්නේ හදවත් රෝග වැනි වෙනත් රෝගවලින් පීඩා විඳීන දරුවන්ට කොවිඩ් - 19 අහිතකරව බලපෑමට හැකි නිසයි.

ද කොවිඩ් - 19 වසංගතයට මුහුණ දීමට රිජ්වේ රෝහල සූදානම්ද? දැනට රිජ්වේ රෝහල කොවිඩ් - 19 ට පිළියම් කරන රෝහලක් නොවෙයි. සැක සහිත නම් විශේෂ වාට්ටුවක තියලා පරීක්ෂණය කරලා නව කොරෝනා වසංගතයට ප්‍රතිකාර කරන රෝහලකට යවන්න මඟ සලසා තියෛනවා. ඒත් රෝගය උග්‍ර වෙලා පැතිරුණොත් රෝගීන් ගණන අනෙක් රෝහල්වලට දරා ගන්න බැරි වුණොත් ළමා රෝගීන් බාර ගෙන ප්‍රතිකාර කිරීමට අප සූදානම්.

 වෙනදාට මේ කාලෙදි වැඩිපුරම කතාබහට ලක්වෙන්නෙ ඩෙංගි හැදුණු දරුවන් ගැන. මේ වසෙර් ඩෙංගි අවදානම කොහොමද ?

දැන් වරින් වර වහිනවා. ඒ නිසා ඩෙංගි අවදානම පටන් අරන්. ජුනි, ජූලි වෙද්දි ඩෙංගි රෝගීන් වැඩිපුර වාර්තා වෙනවා. දැන් අම්මලා තාත්තලා නිවෙස් වල නිවාඩුව ඉන්න නිසා වැහි වතුර පිරෙන තැන් විනාශ කළොත් අවදානම අඩුකරගන්න පුළුවන්.

කොරෝනා සමඟ ඩෙංගිත් පැතිරුණොත් දරුවන් බරපතළ සෞඛ්‍ය ගැටලුවකට මුහුණ පානවා.

උපදෙස් කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත