නව කොරෝනා වෛරසයෙන් පරෙස්සම් වෙන්න ඕන ඇයි?

මැයි 6, 2020

සමහරුන්ට ලෙඩ රෝග විහිළුවක්. තවත් අයට එය භීතිකාවක්. කිසිදු රෝගාබාධයකදී අප මේ අන්ත දෙකටම නොයා යුතුය. කාලයෙන් කාලයට විවිධ වසංගත ලෝපුරා පැතිරෙනවා. එහෙත් දෙවැනි ලෝක සංග්‍රාමය සිහි ගන්වන තරම් වසංගතයක් ගැන කොවිඩ් - 19 ට පෙර අසන්නට දක්නට ලැබී නැහැ.

 

රටින් රටට රෝග ලකුණු වෙනස්. රෝගයේ බලපෑම වෙනස්. අද පවතින තත්ත්වය නොවෙයි හෙට තියෙන්නෙ.

මේ නව කොරෝනා ගැන ඇති අලුත්ම වෛද්‍ය වාර්තා වලින් කියැවෙන දේ.

*තරුණ කොරෝනා රෝගීන් ආඝාතයට ගොදුරු වීමේඅවදානමක්

මුලින් වැඩිදෙනකු සිතුවේ වෛරසය පෙණහලුවලට බලපාන බවයි. ඒත් දැන් එය මොළයට රුධිරය සැපයීම අඩාල කරන රුධිර කැටි ඇති කිරීමට හේතුවන බවට අනුමාන කරනවා. සිරුරේ පහළ පෙදෙසේ ඇතිවන රුධිර කැටි පෙණහලු කරා ගමන් කර අවහිර කිරීම කොවිඩ් - 19 රෝගීන්ගේ ප්‍රධාන මාරයකු බවට පත්වී තිබෙනවා. රුධිර නාලයේ අවහිරතාව හදවතට ආසන්නව ඇති වීම ආසාදිත පුද්ගලයන්ගේ මරණයට හේතුවන එක් ප්‍රධාන කාරණයක්. තවමත් මේ රුධිර කැටි ඇතිවීමට හේතුව සොයා ගෙන නැහැ.

එහෙත් ඔවුන් අනුමාන කරන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෛරසයට එරෙහිව පමණට වඩා ක්‍රියාකාරීවීම හෝ කොරෝනා වෛරසය සෛල ආක්‍රමණය කිරීමෙන් ඇතිවන පලයක් ලෙස මෙසේ සිදුවන බවයි.

*වැඩිහිටි රෝග ලකුණුවල පුදුමාකාර වෙනසක්

දිගින් දිගටම පවතින කැස්ස, උණ, හුස්ම ගැනීමේ අසීරුතාව කොවිඩ් - 19 ප්‍රධාන ලක්ෂණයි. එහෙත් වැඩිහිටියන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වයසත් සමඟ ඇතිවන වෙනස නිසා එවැනි ලක්ෂණ පෙන්නුම් කෙරෙන්නේ අඩුවෙන්. ඔවුන්ට අසාමාන්‍ය වෙහෙසක් කුසගිනි නැති බවක්, ව්‍යාකූල බවක්, සමබර නැති බවක් වැඩිපුර දැනෙන බව වාර්තා වී තිබෙනවා.

*පිරිමින්ට රෝගය බරපතළයි

වැඩිපුරම රෝගය බලපාන්නේ රෝගයෙන් වැඩිපුරම මියයන්නේ පිරිමින්. මරණවලින් සියයට 69ක්ම වාගේ පිරිමින්. පිරිමින්ගේ දුම් පානය වාගේම තවත් හේතු ද මේ කෙරෙහි බලපායි. කාන්තාවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෛරසයට එරෙහිව ශක්තිමත්ව ක්‍රියා කරයි. ආසාදනවලට සහ එන්නත්වලට ද සාර්ථකව ප්‍රතිඵල දක්වන්නේ කාන්තාවන්ය. කාන්තාවන් එක්ස් ක්‍රොමසෝම දෙකකිනුත් පිරිමින් එක්ස වයි ක්‍රොමසෝමවලිනුත් නිර්මාණය වීම ද මීට බලපායි.

වැරැදි පුරුදු, නොසැලකිලිමත්කම වැඩිපුර දක්නට ඇත්තේත් පිරිමින්ටය. ලංකාවේ මෙන්ම ඉන්දියාවේද කාඩ්ගැසීමෙන් පිරිමින් ගණනාවකට රෝගය බෝ කළ පිරිමින් සිටිනවා.

මේ නිසා බිරියන් සැමියන් දෙස වෙනදාටත් වඩා මේ කාලයේදී ඇස ගසා ගෙන සිටිය යුතුයි.

*උදෑසන හිරු එළියෙන් පෙණහලු ආසාදන අවම වෙයි

දිනපතා මිනිත්තු 10ක් වත් හිරු එළියට නිරාවරණය විය හැකි නම් කොවිඩ්- 19 ට ගොදුරු වීමේ ඉඩ අඩු වන බව ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා. උදෑසන හිරු එළියෙන් සිරුරට විටමින් ඩී ලැබෙන අතර එය පෙණහලු ආසාදන වළක්වා ගැනීමේ දී අත්‍යාවශ්‍ය විටමිනයක්. එහෙත් එසේ ලබා ගත යුත්තේ උදෑසන හිරු එළියයි.නව කොරෝනා වෛරසයෙන් පරෙස්සම් වෙන්න ඕන ඇයි?

 

මේල් ඔන්ලයින් ඇසුරිනි