සිඟිති දෙපා අවලස්සන කරන උපත් ආබාධයක් මුගුරු දෙපා

ජුනි 10, 2020

දරුවා පියවර ඔසවා ඇවිදින දිනය අම්මාට තාත්තාට ජීවිතයේ අමතක නොවන දිනයක්. ලස්සන හුරු බුහුටි සිඟිති පාවහන් යුගලක් මිලදී ගන්න අම්මා කෙනෙක් දරුවා බිහිවන තුරුවත් බලා සිටින්නේ නැහැ. ඒත් හැම අම්මා, තාත්තා කෙනකුටම පියකරු සිඟිති දෙපා යුවළක් හිමි දරුවකු දෝතට තුරුලුකර ගැනීමේ වාසනාව හිමිවෙනවාද?

දරුවන්ගේ උපත් ආබාධ අතරින් දෙවැනි තැන ගන්නේ ගාත්‍රා ආබාධයි. එය සියයට 20 - 30 ක් තරම් ප්‍රතිශතයක්. දෙපා ආබාධ අතරින් වඩාත් සුලබ මුගුරු දෙපා ( ක්ලබ් ෆුට් ) .

මේ තත්ත්වයේදී දරුවාගේ පාද වකුටු වී ඇඹරුණු ස්වභාවයක් ගන්නා නිසා දරුවාට කිසි දවසක සාමාන්‍ය විදියට දෙපා තබා ඇවිදීමට ලැබෙන්නේ නැහැ. ඒ නිසා දරුවා ඉපදුණු වහාම වෛද්‍ය ප්‍රතිකාර මඟින් මේ විකෘති තත්ත්වය නිවැරැදි කරගත යුතුයි.

 

මෙවැනි දරුවකු බිහි වන්නේ ඇයි?

බොහොමයක් තත්ත්වයන්ට හේතුවක් සොයා ගන්න බැහැ. එහෙත් විවිධ හේතූන් මේ කෙරෙහි බලපාන බවට අනුමාන කරනවා.

ඒවා නම්

* ජානමය උරුමය - සමහර පවුල්වල මෙය පරම්පරාගත උරුමයක්. මවටයි පියාටයි දෙදෙනාටම මුගුරු දෙපා තත්ත්වය ඇත්නම් දරුවාට මේ ආබාධිත තත්ත්වය ඇතිවීමේ වැඩි ඉඩක් තියෙනවා.

*කොඳු නාරටියේ ආබාධයක් තිබීම

*අක්‍රීය දුම්පානය ( වෙනත් කෙනකු උරන දුම ආශ්වාස වීම )

*ගැබිනි වියේදී ආසාදනවලට ගොදුරු වීම

*දරුවා කුසෙහි වැඩෙද්දී කලලාවාරික තරලය අඩුවෙන් තිබීම

*මත්පැන් පානය

මෙවැනි හේතූන් මුගුරු දෙපා ඇතිවන්න පුළුවන්. මෙවන් දරුවකුට සාමාන්‍ය දරුවකුට මෙන් ඇවිදින්නට බැරිවෙනවා පමණක් නොවෙයි ආතරයිටිස් රෝග තත්ත්වය ද ඇති වන්න පුළුවන්.

මුගුරු දෙපාවලට ප්‍රතිකාර කිරීම පමා කිරීමෙන් තවත් ගැටලු මතු වෙන්න පුළුවන්.

 

උපදෙස් - ප්‍රජා වෛද්‍ය විශේෂඥ  කපිල ජයරත්න,

ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා

 

2020/06/08 තරුණි බලන්න.