පෙනීමේ ගැටලුවලට දෘෂ්ඨි විශේෂඥයන් ළඟට දරුවන් රැගෙන යන්න එපා

ජූලි 8, 2020

මාස තුනකට පමණ පසු දරුවන් යළිත් පාසල් යනවා. මවුපියන්ගේ සිත් සතුටින් පිරිලා. දරුවන්ට අධ්‍යාපනය ලබා දී නුවණැස පෑදීම මාපියන්ගේ එකම සිහිනයයි. නුවණැස ගැන වගේම දරුවාගේ දෑස (මසැස) ගැනත් අවධානය යොමු කළ යුතුය.

දරුවා නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාකර ගැනීම වගේම දරුවාගේ කායික සුවතාව ගැන ද අවධානය යොමු කළ යුතුයි. කෙරටොකෝනස් පාසල් වියේ එනම් වයස අවුරුදු 10 - 12 ත් අතර දරුවන් අතර සුලබ රෝග තත්ත්වයක්.

අපේ ඇසට ඇතුළු වන සෑම ආලෝක ධාරාවක්ම දෘෂ්ඨිවිතානය වෙත නාභිගත වෙන්නෙ (ඉලක්කගත වන්නේ) ඇසේ කුනීතය හරහා ගමන් කරමින්. නීරෝගි ඇසක කුනීතය වක්‍රාකාරයි. ඒත් කුනීතයේ වක්‍රාකාර බව ක්‍රමයෙන් ඇද වන දරුවන් ද සිටිනවා. මෙවිට දරුවාගේ ඇස් පෙනීම අඩු වීමට පටන් ගන්නවා. අක්ෂි වෛද්‍යවරයකු විසින් කුනීතය පරීක්ෂා කිරීමේදී කුනීතය ඇදවී ඇති බවක් පෙනෙයි නම් දරුවාට ඇත්තේ කෙරෙටාකෝනස් රෝගයයි. කෝනියල් ටොපෝග්‍රැෆි පරීක්ෂණයෙන් මේ තත්ත්වය හඳුනා ගැනීමට පුළුවන්. කෙරෙටාකෝනස් රෝගයේ භයානකකම ක්‍රමක්‍රමයෙන් රෝගියා නොදැනුවත්ව දෑස නොපෙනී යාමයි. කුනීතයේ වක්‍රය සුළු වශයෙන් ඇද වීමට පටන් ගෙන ක්‍රමයෙන් වැඩිවෙනවා. එවිට කුනීතයේ ඝනකම අඩු වෙනවා.

කාලයත් සමඟ කුනීතයේ කැළලක් ඇතිවී පෙනීම අහිමි වෙනවා.

මුල් කාලයේදීම මේ තත්ත්වය හඳුනා ගැනීමෙන් දරුවා ඒ අවාසනාවන්ත ඉරණමට ගොදුරුවීම වළක්වා ගන්න පුළුවන්.

දරුවා දඟකාර නව යොවුන් වියට එනම් වයස අවුරුදු 10 - 12 ට පිවිසෙන විට දෑස් පැහැදිළිව නොපෙනෙන බව පැවසුවොත් වහාම අක්ෂි වෛද්‍ය විශේෂඥයකුට දරුවා පෙන්වන්න.

 

උපදෙස් - අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ

රංගික ගුණරත්න

2020/07/08 තරුණි පුවත්පත බලන්න.