කෝවිඩ් යකා හිතනවාටත් වඩා කළුයි

ජූලි 22, 2020

අපේ සමහර අය රට විවෘත කළාට පස්සෙ හැසිරෙන්න ගත්තෙ ගෝලීයව තවමත් වසංගතයක් පවතින බව අමතක කරලා. ඒත් නව කොරෝනා වෛසයේ තර්ජනය නිමා වෙන ලකුණක්වත් නැහැ. කොහොම වුණත් රෝගය ගැන වැඩිපුරම අසන්න, දකින්න ලැබෙන්නේ සුබ ආරංචි නම් නෙවෙයි.

*මොළයට දැඩි බලපෑමක්

රෝගයට ගොදුරු වුණු වැඩිදෙනකු ඩිලීරියම්, ආඝාතය, ස්නායු හානිවලට හිතුවාටත් වඩා ගොදුරුවී ඇති බව සොයාගෙන තිබෙනවා. ඒ වාගේම මොළය ප්‍රදාහයට පත් වීම ද රෝගීන් අතර දක්නට ලැබුණු තත්ත්වයක්. මේ බව අනාවරණය කරන්නේ ලන්ඩනයේ යුනිවර්සිටි කොලීජියේ විශේෂඥයන්. රෝගයෙන් සුවය ලැබුවත් ස්නායු රෝග ලකුණු ඇති වුණොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි. කායිකව වාගේම මානසිකව ද ස්නායු ගැටලුවක් ඇතිවිට රෝග ලකුණු ඇතිවෙනවා. විෂාදය, අංශභාග හෝ පූර්ණ වශයෙන් අඩපණ වීම, මාසපේශි දුර්වල වීම, වලිප්පුව, කියවීමට ලිවීමට අපහසුවීම, අවධානය අඩුවීම, තේරුම් කරන්න බැරි වේදනාවක් දැනීම වැනි ලකුණු ස්නායු රෝගයක පෙර නිමිති වන්න පුළුවන්.

ඩිලීරියම්, ඩිමෙන්ෂියා එක සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන නිසා සමහරු රෝග දෙක පටලවා ගන්නවා. ඩිලීරියම් තත්ත්වයේදී මතක ශක්තිය දුර්වලයි. තමන් කවුරුද තමන් කොහිද ඉන්නේ කියා අමතක වෙනවා. වචන අමතක වන අතර අනෙක් අයට කියන දේ වටහා ගැනීම අසීරුයි. ස්නායු රෝගවලදී වගේම ඩිලීරියම් තත්ත්වයේදීත් ලියන්න කියවන්න අසීරු වෙනවා.

*සෑම කෝවිඩ් - 19 මරණයකටම හේතුව රුධිර කැටි ගැසීමක්

නව කොරෝනා වෛරසයට ගොදුරුවී මියගිය පුද්ගලයන්ගේ පශ්චාද මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ සියලු දෙනාම නහරවල ඇතිවන රුධිර කැටි ගැසීම හෙවත් ත්‍රොම්බෝසිස් නම් මාරාන්තික තත්ත්වයෙන් පීඩා විඳ ඇති බවයි. මුලින් මෙය ස්වසන රෝගයක් ලෙස හඳුනා ගෙන තිබුණ ද පසුව තදබල ලෙස රෝගීවූ විට අනෙක් අවයවවලට දහානි කරන බව ඔප්පු වුණා.

රුධිර කැටි ඇති වීම රෝගය මාරාන්තික වූ විට ඇතිවන සංකූලතාවක්. අනවශ්‍ය ලෙස රුධිර කැටි ඇතිවීමට පිළිකා, ඖෂධ, හෘදයාබාධ, එච්අයිවී වැනි රෝග තත්ත්වයන් බලපානවා. ශ්‍රෝණියේ, පාදයේත අතේ, අක්මාවේ, කුඩා බඩවැල්වල හෝ වකුගඩුවල රුධිර කැටි ඇති වන්න පුළුවන්. මෙයින් ආඝාතය ඇතිවීමේ අවදානම ඉහළ යනවා. පාදයේ අධික වේදනාව, ඇවිදීමට නොහැකි වීම රුධිර කැටියක් ඇති වීමේ ලකුණු වෙන්න පුළුවන්. රුධිර කැටිවලින් නහර සිරවුණු පසු රුධිර සැපයුම අඩාලවී හෘදයාබාධ, ආඝාතය, අවයව අකර්මණ්‍ය වීම වැනි තත්ත්ව ඇති වෙනවා.

 

 

2020/07/22 තරුණි පුවත්පත බලන්න.