දරුවා හොඳීන් වැඩෙන්නේ මේ විටමින් වර්ග ලැබුණු විටයි

අගෝස්තු 26, 2020

අද කාලයේ දරුවන් විතරක් නෙවෙයි අම්මලත් කෑමට ගන්නේ ගුණය කෙසේ වෙතත් අගුණයෙන් පිරුණු ආහාරයි. ඒ නිසා උපදින්න කලින්ම දරුවා අහිතකර ආහාර පානවලට නිරාවරණය වෙලා.

දරුවා ඉපදුණාට පස්සෙ නම් අම්මලා ලෝකයේ හොඳම කෑම බීම හොයලා දෙන්න පොර කනවා.

දරුවන් අල ගෙඩි වගේ තරබාරු නොකර ඒ වගේම කෝටුවක් වගේ කෙට්ටුත් නොකර හදාවඩා ගැනීම මාපියන් විසින් බොහොම නුවණැතිව කළයුත්තක්.

දරුවා නිසි ලෙස වර්ධනය වු‍ණේ නැත්නම් පහසුවෙන් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. දුවලා පැනලා සෙල්ලම් කරන දරුවකු වෙනුවට අම්මලා තාත්තලාට උදාසීන, ඉගෙනීමට දුර්වල දරුවකු හිමිවෙනවා.

මේ නිසා කෑම බීම දැන්වීම්වලට, අනෙක් අම්මලාගේ කතාවලට රැවටෙන්නේ නැතිව ආහාර පාන දෙන්න අම්මලා වගබලාගන්න ඕන.

විටමින් බී කාණ්ඩ

දරුවන්ගේ වර්ධනය සඳහා තයමීන් - විටමින් බී 1, රයිබොෆ්ලෙවින් -විටමින් බී 2, ෆෝලික් අම්ලය (බී9 ෆෝලේට්), කෝබැලමින් - විටමින් බී 12, නිනොටිනොමයිඩ්- බී3 යන විටමින් බී කාණ්ඩ අත්‍යවශ්‍යයි.

 

 

තයමීන්

තයමීන් දරුවා ක්‍රියාශීලීව සිටීමට, බුද්ධි වර්ධනයට, ඉක්මනින් ඇවිදීමට අත්‍යවශ්‍යයි. නිසි ලෙස විටමින් බී නොලැබුණොත් අලසකම, කෑම අරුචිය, හෘද ස්පන්දන වේගය අඩුවීම, හදවත දුබලවීම, ස්නායු ආබාධ ඇතිවීමේ අවදානමක් පවතිනවා.

ධාන්‍ය ( කුරුට්ට සහිත සහල් ), සෝයා වැනි ඇට වර්ග, බිත්තර, රටකජු, යීස්ට් සාරය, තෙල් නැති මස් ආදියේ තයමීන් අඩංගුයි.

 

උපදෙස් - ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

දීපාල් පෙරේරා

 

 

2020/08/26 තරුණි පුවත්පත බලන්න