කොන්දේ වේදනාවට දිගු වේලාවක් වාඩිවී සිටීමත් බලපානවා

අගෝස්තු 26, 2020

බොහෝ කාන්තාවන් දවසට එක්වරක් හෝ පවසන වදන් පෙළක් තිබෙනවා. ” මගේ කොන්ද හරියට රිදෙනවා.” අපට එදිනෙදා වැඩ හරියට කිරීමට නීරෝගි කොන්දක් තබාගත යුතුයි. නැත්නම් දවසම එක තැනකට වී වැඩක්කර ගත නොහැකිව සිටීමට සිදුවෙනවා.

කොන්ද කියා පැවසුවාට වඩාත් සුලබ කොන්දේ පහළ පෙදෙසේ ඇතිවන (තුනටියේ) ඇතිවන වේදනාවයි. එහෙත් ගෙලේ සිට උකුළ පෙදෙස දක්වා පවතින වේදනාව කොන්දේ වේදනාව ලෙස හඳුන්වනවා. තදින් කොන්දේ වේදනාව දැනුණත් බොහෝ කොන්ද වේදනාවට බරපතළ හේතුවක් නැහැ. සාමාන්‍යයෙන් මෙය කෙමෙන් කෙමෙන් යථා තත්ත්වයට පත් වෙනවා. මේ අපහසුතාවෙන් අත්මිදිය හැකි ක්‍රම රැසක් තිබෙනවා. එහෙත් සමහර වෙලාවට කොන්දේ වේදනාව දිගු වේලාවක් පැවතීමට හෝ නැවත වේදනාව ඇති වීමට හෝ ඉඩ තිබේ.

 

කොන්දේ වේදනාවෙන් සහනයක් ලබා ගන්නේ කෙසේද?

*පුළුවන් තරම් දෛනික කටයුතුවල ක්‍රියාකාරීව යෙදිය යුතු. විවේකයෙන් සිටීමෙන් කොන්දේ වේදනාව තවත් දරුණු වෙයි.

*ඇවිදීම, පිහිනීම වැනි ව්‍යායාම, යෝගා භාවනාව කොන්දේ වේදනාවට හිතකරය.

*වේදනානාශක, සීත හෝ උණුසුම් පැකැට්ටු හෝ බෝතල් තබා ගැනීම, සීතකරණයේ තැබූ එළවළු පැකැට්ටුවක් තුවායකින් ශතා තැබීම මඟින් සහනයක් ලද හැකිය.

* කොන්දේ වේදනාව ඉක්මනින් සුවවේවා යන සුබවාදී බලාපොරොත්තුවෙන් පසුවන්න. සුබවාදී සිතුවිල්ල ඉක්මනින් වේදනාවකින් සහනයක් ලබා ගැනීමට උපකාරී වෙයි.

වෛද්‍ය උපදෙස් පැතිය යුතු අවස්ථා

*සති කීපයක් යන තුරුත් වේදනාව අඩු නොවීම

*එන්න එන්නම කොන්දේ වේදනාව දරුණු වීම

*වැඩ කිරීමේදී වේදනාව නතර වීම

පවුලේ වෛද්‍යවරයා හෝ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවීම මෙවැනි අවස්ථාවක නොපමාව කළ යුතුය. ඇතැම් විට භෞත චිකිත්සක ප්‍රතිකාර අවශ්‍ය වෙයි.

කොන්දේ වේදනාවට හේතු

*බොහෝවිට කොන්දේ වේදනාවට හෙතුවක් නැත. හේතුවක් ඇතිව කොන්දේ වේදනාව හටගන්නා අවස්ථා ද තිබේ. කොන්ද ආශ්‍රිත මාංසපේශි, අස්ථිබන්ධන ඇදීමෙන් තුවාල වීමෙන් ඇතිවන තුවාල කොන්දේ වේදනාවට බලපායි. මෙවිට කොන්දේ වේදනාවක් දුබලබවක් දැනෙයි. තුවාල වුණු පෙදෙස ආශ්‍රිතව ඉදිමීමට ද පු‍්‍රළුවන.

*සාමාන්‍ය පරිදි ක්‍රියාකරවීමට නොහැකි වෙයි. මෙවිට නම් විවේකයෙන් සිටීම වැදගත් වෙයි. අයිස් පැක් තැබීම හෝ ශිතකළ එළවළු බෑගයක් තුවායකින් ඔතා වේදනාව ඇති තැන තැබීම පිළියමකි. සති දෙකකින් සහනයක් ලැබේ. මෙවැනි තත්ත්වයක් පවතින විට බරපතළ ව්‍යායාමවලින් වැළකී සිටිය යුත්තේ තවදුරටත් මාංසපේශි අස්ථි තුවාල වීම වළක්වා ගැනීම සඳහායි. තදබල ලෙස මාංසපේශි, අස්ථි බන්ධනවලට හානි සිදුවී ඇත්නම් යථා තත්ත්වයට පත්වීමට මාස ගණනක් ගතවෙයි. අවශ්‍ය නම් භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයා යොමුකරයි.

උපදෙස්

ප්‍රජා වෛද්‍ය විශේෂඥ

අමිල චන්ද්‍රසිරි

 

 

2020/08/26 තරුණි පුවත්පත බලන්න