දියණිය අකලට මල්වර වන්නේ රෝගී තත්ත්වයක් නිසාද?

සැප්තැම්බර් 9, 2020

සිඟිති දියණියක මාපියන්ට පිපෙන කැකුළක් වගෙයි. නිසි ලෙස වැඩී නිසි කලට ඇය නව යොවුන් වියට එළඹීමේ සුබ මොහොත ගැන දැනගන්නා තුරු මවකට ඉස්පාසුවක් නැහැ. ඒත් නිසි වයසට පෙර මල්වර වුණොත් එසේත් නැත්නම් නිසි කල ඉක්මවා ගිය ද මල්වර නොවුණොත් එය නම් මාපිය සිත් රිදවන කාරණයක්.

සාමාන්‍යයෙන් වයස අවුරුදු නවයක්, දහයක් පිරෙන්න පෙර මල්වර වීම අම්මලාට ගැටලුවක්. සැබැවින්ම මල්වර වීම අකාලයේ සිදුවීමට හෝ නිසි කල සිදු නොවීමට සිරුර අභ්‍යන්තරයේ සැඟවුණු රෝගී තත්ත්වයක් හෝ ශාරීරික ගැටලුවක් බලපෑමට පුළුවන්. සමහරවිට කලින් මල්වර වීමට පැහැදිලි හේතුවක් නැහැ. එය පරම්පරාවෙන් උරුම වන අවස්ථා ද තිබෙනවා.

කලාතුරකින් පහත සඳහන් හේතු ද මේ තත්ත්වයට බලපාන්න පුළුවන්.

 

  •  ගැටිත්තක් වැනි මොළයේ ගැටලුවක්.
  •  ආසාදනයක්, සැත්කමක් හෝ විකිරණ ප්‍රතිකර්මයෙන් මොළයට හානිවී තිබීම
  •  ඩිම්බකෝෂවල හෝ තයිරොයිඩ් ග්‍රන්ථි ගැටලුවක්
  •  ජානමය අක්‍රමිකතාවක්
  •  ඩිම්බකෝෂ, ඇඩ්‍රිනලින් ග්‍රන්ථිය ආදී හෝර්මෝන නිපදවන ස්ථානවල ගෙඩියක් තිබීම
  •  මෙනින්ජයිටිස් (මොළයේ උණ), එන්සෙෆලයිටිස්, හයිඩ්රොසෙපියුලස් (මොළයේ කුහරවල තරල පිරීම ) වැනි රෝග තත්ත්ව මේ කෙරෙහි බලපානවා.

 

දියණිය මල්වර වීම පමාවන විට ඊට සැඟවුණු වෙනත් සෞඛ්‍ය ගැටලුවක් ඇති බව ඔබ දරුවා පෙන්වන කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයාට හෝ පවුලේ වෛද්‍යවරයාට වැටහුණොත් නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයකුට දියණිය යොමුකරනවා.

සාමාන්‍යයෙන් රෝගියකු මුලින්ම යොමු කළ යුත්තේ පවුලේ වෛද්‍යවරයාට හෝ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයාටයි.

 

*පරීක්ෂණ සහ ප්‍රතිකාර

හෝර්මෝන පරීක්ෂා කිරීමට රුධිර පරීක්ෂණ, එක්ස් කිරණ පරීක්ෂණ, ගැටිති ආදිය බැලීමට අල්ට්‍රාසවුන්ඩ් එම්ආර්අයි (ර්අධ්) ස්කෑන් පරීක්ෂණ අවශ්‍යතාව අනුව සිදුකරනවා.

හෝර්මෝන මට්ටම වැඩි නම් ඖෂධ ප්‍රතිකාර මඟින් අඩු කරනවා.

සැඟවුණු හේතුවට පිළියම් සිදුකරනවා.

මල්වර වීම පමා වීමට ද හේතූන් ගණනාවක් බලපානවා.

එය පරම්පරා ලක්ෂණයක් වීමට ද පුළුවන්. ගැහැනු දරුවන්ටත් වඩා පිරිමි දරුවන් ගැටවර හෙවත් නව යෞවනයට පත්වීම පමා වෙනවා.

වයස දාහතරක් පමණ වන විට පිරිමි දරුවකුගේ වෘෂණකෝෂ වැඩී නැත්නම් එය නව යොවුන් වියට පත්වීම පමා වීමක් ලෙස සලකනවා.

ගැහැනු දරුවන්ගේ නම් වයස අවුරුදු 13 වන තුරුත් පියයුරු වැඩෙන්නට පටන් ගෙන නැත්නම් හෝ පියයුරු වැඩෙන්න පටන් ගෙන තිබුණත් වයස අවුරුදු 15 ක් වනතුරු ඔසප් වීම ඇරැඹී නැත්නම් එය මල්වර වීම පමාවීමක් ලෙස සලකනවා. මීට විවිධ හේතු බලපානවා.

මන්දපෝෂණය එක් හේතුවක්. වකුගඩු ආබාධ වැනි දිගුකාලීන රෝගවලින් පීඩා විඳීම, ඩිම්බකෝෂවල ගැටලු, පිරිමි දරුවන්ගේ වෘෂණකෝෂවල ගැටලු, ජානමය තත්ත්ව ආදී විවිධ හේතූන් පමාවට බලපානවා. මෙවිට ද කලින් මල්වරවූ විට සිදුකරන පරීක්ෂණම සිදුකරනවා. ගැටලු හඳුනාගෙන ඊට පිළියම් සිදුකරනවා.

 

උපදෙස්-

නාරි හා ප්‍රසව වෛද්‍ය

විශේෂඥ විජිත් විද්‍යාභූෂණ

 

 

2020/09/09 තරුණි පුවත්පත බලන්න