වැලි ඇල්ලූ පමණින් දරුවාට හොරි හැදෙනවද?

සැප්තැම්බර් 30, 2020

දඟකාරකම, කුතුහලය, නිර්මාණශීලිත්වය දරුවන්ට ආවේණිකය. උතුරා යන සතුටින් දරුවන් දඟකාරකමෙන් කුතුහලෙන් නිර්මාණශිලීත්වයෙන් තමන්ගේම ලොවක රජ වෙයි. වැඩිහිටියන් ද ළමා වියේදී මෙලෙසින්ම හැසිරුණත්, එය වැඩිහිටි වියේදී අමතකකර දමයි.

“මේ ළමයා කොච්චර කිව්වත් අහන්නෙ නෑ. ජරා වැලි අත ගානවා. ඊළඟට අම්මේ අත් කහනවා. කිය කියා පස්සෙන් එනවා.” මෙසේ පවසන මවුවරුන් අපට කොතරම් මුණ ගැසෙනවද? ඒ අතර කලාතුරකින් “මං දරුවට වැලි අල්ලන්න දෙනවා. දරුවා සොබා ධර්මයත් එක්ක ඉන්න ඕන. පොත පත පාඩම් වගේම මේ වගේ දේවල්වලින් ඉගෙන ගන්න දේත් වැදගත්” යි පවසන අම්මලාද හමු නොවනවා නොවෙයි.

සැබැවින්ම දරුවන් සොබා දමෙන් ඈත් නොකළ යුතුය. ඒ දරුවාද සොබා දමේ කොටස්කරුවකු බැවිනි. දරුවාට සෙල්ලම් කරන්න දෙන වැලි උණු වතුරෙන් තම්බා ආරක්ෂිතව තැබුවොත් ඒ වැලිවලින් සෙල්ලම් කළ පමණින් දරුවා රෝගී නොවෙයි. ඒ වාගේම දරුවා සෙල්ලම් කළාට පසු හොඳින් සෝදා පිරිසුදු කරන්නේ නම් එවිට ද රෝගය සෑදීමේ ඉඩකඩ අඩුවෙයි. දරුවා පස් වැලිවලින් ඈත් කරනවාට වඩා කළ යුත්තේ එවැනි උපක්‍රමයක් අනුගමනය කිරීමයි.

පිරිසුදුකම ගැන නොසිතා පස්, වැලි අතපත ගාන, සෙල්ලම් කරන දරුවන්ට හොරි ඇතිවීමේ අවදානමක් ඇති බව ඇත්තකි. පරපෝෂිතයකුගෙන් බෝවන මේ රෝග තත්ත්වය පාසල් යන දරුවකු නම් ශිෂ්‍ය ප්‍රජාව අතර, නේවාසිකව සිටින්නකු නම් නේවාසිකාගාරයේ අය අතර පැතිරයා හැකියි. මුළු සිරුර පුරාම රෝගය පැතිර යාමට පුළුවන.

හොරි ලෙසින් හදුන්වන මේ තත්ත්වය ඇති වන්නේ වැලි, පස්වල සැඟවී සිටින පරපෝෂිතයකුගෙනි.

 

උපදෙස් - ළමා රෝග විශේෂඥ වෛද්‍ය

නවමාලිකා ද සිල්වා

 

020/09/30 තරුණි පුවපත බලන්න