උගුර පිච්චෙන්න උණු වතුර බොන්න එපා

නොවැම්බර් 25, 2020

උණු තේ කෝප්පයක, කෝපි කෝප්පයක රස වෙනදාට නම් බලන්නේ ගත උණුසුම්කර ගන්නයි. එහෙත් කෝවිඩ් වසංගතය සමඟ උණුවෙන් කිසිදු පාන වර්ගයක් නොගන්නා පුද්ගලයන් පවා දුම් දමන තරමට උණු ජලය ඇතුළු විවිධ පාන වර්ග ගැනීමට පෙලඹී තිබෙයි.

එනිසාම උගුර පිලිස්සීමෙන් රෝහල්ගත වෙන පිරිස ද වැඩිවෙමින් පවතියි.

නව කොරෝනා වෛරසය ආසාදනය වීම වැළැක්වීමට උණු ජලය පානයෙන් හැකියාවක් තිබෙන බවට ලෝ පුරා පැතිර යන ආරංචිය නිසා වැඩි දෙනෙක් මෙසේ කිරීමට පෙලඹුණත් උගුර පිච්චෙන ගණනට පාන වර්ග ගැනීම අපේ ශරීර සෞඛ්‍යයට මොන තරම් හිතකරද?

ෆැරන්හයිට් අංශක 149 ක ( සෙල්සියස් අංශක 65 ක ) හෝ ඊට වැඩි උෂ්ණත්වයකින් යුතු පාන ගැනීම අන්න‍ස්‍රෝත පිළිනා සෑදීමේ අවදානම ඉහළ නංවන බව පර්යේෂණ මඟින් හෙළිවී තිබෙයි.

ඉහත සඳහන් කළ උෂ්ණත්වයෙන් යුතු පාන වර්ග ගැනීමෙන් අන්න‍ස්‍රෝත සෛලවලට හානි සිදුවන අතර එනිසා පිළිකා සෑදීමේ අවදානම ඉහළ යයි. මෙය විද්‍යාඥයන් සමාන කරන්නේ මධ්‍යසාර ගැනීමෙන් උගුරට වන හානියටය. මත් වතුර ගන්නා අයට ද අන්නස්‍රෝත පිළිකා සෑදීමේ අවදානමක් පවතියි.

දැන් අප පරිසරයේ ඇති නව කොරෝනා වෛරසය ගැන පමණක් අවධානය යොමු කළත් අප කලක සිට ජීවත්වන්නේ නව කොරෝනා වෛරසයටත් වඩා භයානක පිළිකාකාරක ද්‍රව්‍යයන්ගෙන් පිරි පරිසරයකයි. අක්‍රීය දුම්පානය, වාහන දුම, ආහාරපානවල ඇකි වස විස ආදී සියල්ලම මඟ පාදන්නේ අපේ සිරුරේ සෛල විකෘතිතාවටයි. එනම් පිළිකා අවදානමකටයි. එවන් අවදානමක් තිබියදී උගුර පිලිස්සෙන්න ජලය හෝ පාන වර්ග ගැනීම අඬන්නට සිටින මිනිසාගේ නෙත්වලට ඇඟිල්ලෙන් ඇනීමක් වාගෙයි. උණු පානයන් ගැනීමෙන් හානිවන සෛල ප්‍රදාහයට පත්වෙයි.

දිගින් දිගටම උණු ජලය පානය කිරීමෙන් දිගින් දිගටම සෛලවලට තුවාල සිදුවන අතර හානිවන සෛල නැවත සැකසීමේදී විකෘති වී පිළිකා අවදානම වැඩිවෙයි.

මේ නිසා නව කොරෝනා වෛරසයට බියවී උගුර පිලිස්සෙන තරම් උණු ජලය බීම නම් වෛරසයටත් වඩා භයානක තත්ත්වයක් ඇතිවීමට හේතුවකි.

උණු ජලයෙක් උගුර සේදීමේදී නව කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට යම් සහනයක් ලද හැකි නමුත් එමඟින් වෛරසය පලවා හැරීමට, විනාශ කිරීමට නොහැකිය. වෛරසය විනාශ කළ හැකි බව විද්‍යාත්මකව සනාථ වී නොමැත. උණු ජලය පානයෙන් සිදුවන්නේ සහනයක් ලැබීම පමණය. නව කොරෝනා වෛරසය ශරීරගත වීම වළක්වා ගැනීමට නම් මුව ආවරණ පැලඳීම, දුරස්ථ භාවය පවත්වා ගැනීම, සබන් ගා දවසට හත් අට වරක්වත් දෑත් සේදීම තරම් වැදගත් දෙයක් තවත් නම් නැත.

 

 

උපදෙස් - කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

වරුණ ගුණතිලක

 

 

2020/11/25 තරුණි පුවත්පත බලන්න