අමුවෙන් මාළු කෑම බැක්ටීරියා ඉල්ල ගෙන කෑමක් වගෙයි.

නොවැම්බර් 25, 2020

අප ජීවත් වන්නේ ඇති තරම් වෛරසවලින් බැට කන කාලයකයි. එවන් කාලයක නැති බැක්ටීරියා ශරීරගත කරගැනීම ළිං ගැට්ටේ සිටින මිනිසා ළිඳ තුළට ඇද දැමීමක් වාගෙයි. මෑතකදී අමුවෙන් මාළු ආහාරයට ගැනීම මතවාදයට තුඩු දුන් මාතෘකාවක් බවට පත්වුණා.

අමුවෙන් සත්ත්ව මාංස කෑමට ගැනීමේ පුරුද්ද කිසිසේත්ම සෞඛ්‍යයට හිතකර පුරුද්දක් නොවෙයි.

මසුන් අමුවෙන් කෑමට ගැනීමෙන් භයානක බැක්ටීරියා රාශියක් ශරීරගත වෙන්න පුළුවන්.

සැල්මොනෙල්ලා එසේ ශරීරගත විය හැකි එක් භයානක බැක්ටීරියාවක්.

මේ බැක්ටීරියාව ශරීරගතවූ විට ඩයරියා, බඩ කොරවීම, වමනය, උණ වැනි රෝග ලක්ෂණ පහළ වෙනවා. සැල්මොනෙල්ලා ආහාර විසවීමට සුලබවම බලපාන බැක්ටීරියාවක්.

අක්මා පිළිකාවට හේතුවන පරපෝෂිතයන් ද අමු මාළුවල අඩංගුයි.

එපමණක් නොව පිත්තාශය ප්‍රදාහයට පත් වීමට පරපෝෂිතයන් හේතු වෙනවා. පරපෝෂිතයන්ගෙන් අමු මාළුන්ගෙන් වගේම අපිරිසුදු මුළුතැන් ගෙයින් ද ශරීරගත වෙනවා.

සැමන් වැනි මසුන් තුළ අඩි 49ක් පමණ දිග පටි පණුවන් සිටිනවා.

උන් ශරීරගතවූ විට වෙහෙස, ඩයරියා හෝ මලබද්ධය හටගන්නවා. බොහෝ වෙලාවට කිසිදු රෝග ලකුණු පෙන්නුම් කරන්නේත් නැහැ.

පටි පණුවන් වගේම වට පණුවන් ද මසුන් තුළ ජීවත් වෙනවා.

අමුවෙන් මාළුන් කෑමට ගත් විට වේදනාව, ප්‍රදාහයන් ඇතිවිය හැකියි. වට පණුවන්ට වැඩි වේලාවක් මිනිස් සිරුරේ ජීවත්වන්න බැහැ.

රසදිය යම් ප්‍රමාණයකින් සෑම මත්ස්‍යයකුගේම සිරුරේ අඩංගුයි. විශාල මසුන්ගේ වැඩිපුර අඩංගුවී තිබෙනවා.

මසුන් හොඳීන් පිස කෑමට ගත්විට ශරීරගත වන රසදිය ප්‍රමාණය සියයට හැටකින් පමණ අඩුකර ගතහැකියි.

රසදිය උග්‍ර විසක්. නොරිස්සුම් සහගත බව, වෙහෙස, හැසිරීමේ වෙනස්කම්, හිසරදය, කන් ඇසීම අඩුවීම ලකුණු පමණක් නොව මරණයට පවා රසදිය ශරීරගත වීම හේතු වෙනවා.

පිළිකා සෑදීමට හේතුවන විවිධ පරිසර දූෂක මාළුවල අඩංගුයි.

මාළු හොඳීන් පිසූ විට පරිසර දූෂකවල විස සියයට විසි හයකින් අවමකර ගන්න පුළුවන්.

ඊ. කෝලි බැක්ටීරියාව තවත් හානිකර බැක්ටීරියාවක්.

ඛොහෝ ඊ. කෝලි බැක්ටීරියාවන් එතරම් හානිකර නැහැ.

වෙහෙස, බඩ කොරවීම, ඩයරියා වැනි සුළු රෝග ලකුණු පමණක් හටගන්නවා. එහෙත් සමහර ඊ. කෝලි බැක්ටීරියාවන් වකුගඩු අකර්මණ්‍ය වී මරණයට පත්වීමට හේතු වෙනවා.

ලිස්ටීරියා අමු මාළුවල අඩංගු තවත් හානිකර බැක්ටීරියාවක්. මෙය දරුවන්ට, ගර්භණී කාන්තාවන්ට, වැඩිහිටියන්ට පහසුවෙන් ආසාදනය වෙනවා. එවිට ඉන්ෆ්ලුවෙන්සා, සමතුලිතතාව නැතිවීම වැනි ලකුණු ඇතිවෙනවා.

මේ අනුව අමුවෙන් මත්ස්‍යයන් ආහාරයට ගැනීම කිසිසේත්ම කළ යුත්තක් නොවෙයි.

පෑලියගොඩ කොරෝනා පොකුර ගැන කතා වෙන කාලයක නරක් නොවූ මසුන් මිලදී ගැනීම ඉතා වැදගත්.

කොහොමද නැවුම් මාළු හඳුනා ගන්නේ ?

අලුත් මාළුවල ඇමෝනියා ගන්ධය හෝ වෙනත් ගන්ධයක් නැහැ.

මුහුදෙන් දැනෙන සුවඳට සමාන ගන්ධයක් හැර වෙනත් ගන්ධයක් නැවුම් මසුන්ගෙන් හමන්නේ නැහැ.

ඇස් පැහැදිලියි. රතු පැහැ ගැන්වී නැහැ. කරමල් රතු පැහැතියි.

මේ කාලයේ මාළු අල්ලා බැලීම නුවණට හුරු දෙයක් නොවෙයි. මාළු අල්ලා බැලූවිට ලිස්සනසුලු නම්, පටලයක් බැඳී ඇති බවක් දැනෙයි නම් ඒ මාළු පරණයි.

 

 

උපදෙස් -

ප්‍රජා වෛද්‍ය විශේෂඥ

අමිල චන්ද්‍රසිරි