" තාරුණ්‍යයේ වගකීම ඉටු කරමු "

"එච්අයිවී වළකමු"
දෙසැම්බර් 9, 2020

 වැඩි විස්තර සඳහා 0112667163 /0703533633 අමන්න.

 

 https://www.aidscontrol.gov.lk වෙබ් අඩවියෙන් ප්‍රාදේශීය ලිංගාශ්‍රිත රෝග සායනවල තොරතුරු සහ දුරකථන අංක පිළිබඳ දැනගැනීමට පුළුවන්.

 

අලුත් අලුත් මාතෘකා සමාජයේ රජ කරද්දී පැරැණි මාතෘකා අමතකවී යාම සාමාන්‍ය ස්වභාවයයි. එහෙත් දිනෙන් දින අපටත් හොර රහසේ අලුත් වන පැරැණි මාතෘකා ඕනෑ තරම්.

එච්අයිවී ආසාදනය වීම සහ ඒඩිස් රෝගය අප අමතක කරන්නේ කෙසේද ? චසරින් වසර වයස අවුරුදු 18 - 25 ත් අතර එච්අයිවී ආසාදනය වන තරුණයන්ගේ ගණන වැඩිවෙලා. අපේ රට පුරා පිහිටි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩිස් මර්දන වැඩසටහනේ සායනවලින් සිදුකරන ලද ආසාදිතයන් හඳුනා ගැනීමේ පරීක්ෂණ දත්ත අනුව මේ කනගාටුදායක තත්ත්වය හෙළිවී තිබෙනවා. 2020 වසර වන විට අපේ රටේ 3600 ක් ආසාදිතයන් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩිස් මර්දන වැඩසටහනේ සායනවල ලියාපදිංචිවී ප්‍රතිකාර ලබාගත යුතු නමුත් දැනට ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් දෙදහසක් පමණයි. 1600ක් දෙනා තමන් ආසාදිත බව නොදැන සමාජයේ නිදහසේ ගැවසෙමින් අන් අය එච්අයිවී වෛරසය ආසාදිතයන් කරමින් සිටිනවා.

කෝවිඩ් - 19 වසංගතය නිසා අපේ සුපුරුදු රාජකාරීන්ට බාධා ඇතිවී තිබෙන බව සැවොම දන්නා කාරණයක්. එච්අයිවී වෛරසය ආසාදනය වැළැක්වීම සඳහා මුළු ලෝකයෙම ක්‍රියාත්මක වුණු ක්‍රමවේදයන්ට මේ කොරෝනා වසංගතය තදින් බලපාලා. එච්අයිවී වැළැක්වීම සඳහා අධි අවදානම් කණ්ඩායම් වෙත ගොස් කරන දැනුවත් කිරීම්, රුධිර පරීක්ෂණ, ප්‍රතිකාර සහ පවුල් සංවිධාන කොපු ලබාදීම ආදී ක්‍රියාමාර්ගවල පසුබැස්මක් ඇතිවෙලා. එහෙත් රටවල්, පළාත් වසා දැමීම නිසා අධි අවදානම් ලිංගික ක්‍රියාකාරකම්, මත් ද්‍රව්‍ය භාවිතය දිගින් දිගටම සිදු වෙනවා. පවතින ආර්ථික ගැටලු සහ ආතතිය නිසා ලිංගික සහකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයන් ද වැඩිවෙමින් පවතිනවා. ඒ අතර ලිංගික හිංසනය ද ඇති බව රහසක් නො වෙයි. මේ සියලු කාරණා රෝග ව්‍යාප්තිය වැඩි වීම කෙරෙහි බලපානවා.

නව කොරෝනා චෛරසයෙන් ආරක්ෂා වීම සඳහා දුරස්ථ භාවය පවත්වාගත යුතු කාලයක අනාරක්ෂිත කායික සබඳතා පැවැත්වීම කෝවිඩ් - 19 වැලඳීිමේ අවදානම වගේම එච්අයිවී ආසාදනය වීමේ ඉඩ ද වැඩි කරනවා. යම් යම් පර්යෂණවලින් රෝගීන්ගේ ශුක්‍රාණුවල ද නව කොරෝනා චෛරසය ඇති බව හෙළිවී තිබුණා. මේ සියල්ල සැලකිල්ලට ගනිමින් මෙවර දෙසැම්බර් 1 වැනිදාට යෙදීී තිබුණු ලෝක ඒඩ්ස් දින ගෝලීය තේමාව වී තිබු‍ණේ ගෝලීය සහයෝගීතාව සහ සාමුහික වගකීමයි. ලංකාවේ වර්තමාන එච්අයිවී වසංගත ව්‍යාප්තිය සලකමින් අපේ තරුණ තරුණියන්ගේ අවදානම සළකමින් මෙවර ඒඩ්ස් දින තේමාව 'තාරුණ්‍යයේ වගකීම ඉටු කරමු - එච්අයිවී වළකමු.' ලෙස යොදාගෙන තිබෙනවා.

ලෝකයේ වැඩිපුරම ගූගල් හරහා ලිංගික කරුණු ගැන විපරම් කරන්නේ ශ්‍රී ලාංකික අප යි. අපේ නව යෞවන, යෞවනියන්ගෙන් සියයට පනහකටම මූලික ප්‍රජනක සෞඛ්‍ය දැනුමවත් නැහැ. තමන්ගේ ප්‍රජනක අවයව ගැනවත් නිසි දැනුමක් නැති ගැටවර දූදරුවන් 21 වැනි සියවස එළඹ තිබියදීත් අපේ රටේ සිටිනවා.

අපේ නව යොවුන් දූදරුවන් ලිංගිකව ක්‍රියාකාරීවීමට පටන් ගන්නේ බොහොම අඩු වයසින්. ගැහැනු දරුවකු නම් වයස අවුරුදු 14 . 4 කින් ද පිරිමි දරුවකු නම් වයස අවුරුදු 15.3 දී ද ලිංගිකව ක්‍රියාකාරී වීමට පටන් ගන්නවා. උපත් පාලන ක්‍රම ගැන, එච්අයිවී පමණක් නොව ලිංගිකව සම්ප්‍රේෂණය වන වෙනත් රෝග ගැනත් මේ අයට නිසි දැනුමක් නැහැ. මේ නිසා ගැටවර වයසින් ගැබ් ගැනීමට, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැලඳීිමට, අපයෝජනයට ලක් වීමට ඉඩ තිබෙනවා.

බොහෝ මවුපියන් දූදරුවන්ව අධ්‍යාපන ඉලක්ක පසු පස දුවවනවා විනා ජීවිතය ගැන, ප්‍රජනක සෞඛ්‍ය ගැන, නිසි වයස එළඹෙන්නට පෙර පවත්වා ගෙන යන ආදර සබඳතා නිසා අනාගතයට වන හානිය ගැන කියා දෙන්නේ නැහැ. දූදරුවන් කුඩා කාලයේදීම තමන්ගේ අතිශයින්ම පෞද්ගලික තැන් මාපියන් හැර පිටස්තර පුද්ගලයන්ට ස්පර්ශ කිරීමට ඉඩ නො දිය යුතු බව කියා දිය යුතුයි. නො එසේ නම් අද තියෙන තාක්ෂණික මෙවලම්වල වහලුන් වී ඉන් ලැබෙන උපදෙස්වලින් නො මඟ ගොස් ජීවිතයම විනාශ කරගන්නවා. අද කාලයේ අම්මලා තාත්තලා වැඩිදෙනෙක් කරන්නේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමයි. සමාජ මාධ්‍ය අනිසි ලෙස භාවිත කිරීම, නො දන්නා පුද්ගලයන් සමඟ කායික සබඳතා ඇතිකර ගැනීම, ළමා වියේදී අපයෝජනයට ලක්වී තිබීම, සම වයසේ මිතුරියන්ගේ පීඩනය ගැටවර ගැටවරියන් නොමඟ යාමේ අවදානම වැඩි කිරීමට හේතුවී තිබෙනවා. සමාජ මාධ්‍ය තුළින් හඳුනා ගන්නා වැඩිහිටි ගැහැනු පිරිමි පුද්ගලයන් ගැටවර වයසේ දූදරුවන් තම ආසාවන් වෙනුවෙන් බිලිගැනීම තවත් අවදානම වැඩි කරන සාධකයක්.

කෝවිඩ් - 19 නිසා හුදෙකලා වී සිටින යොවුන් පරපුර ස්මාට් ෆෝන් ඇතුළු තාක්ෂණීක මෙවලම් භාවිත කිරීම වැඩිවී තිබෙන අතර සමාජ මාධ්‍යවල අතරමං වීමට තිබෙන ඉඩ ද වැඩියි. අන්තර්ජාලය හරහා නව සබඳතා ගොඩනඟා ගැනීමට තිබෙන ඉඩකඩ ද වැඩියි. මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවීම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ඇතිවීමේ අවදානම දෙගුණ තෙගුණ කරන තවත් භයානක කාරණයක්. මත්ද්‍රව්‍ය ලිංගික ක්‍රියාකාරිත්වය වැඩිකරන බවට මිථ්‍යා මතයක් තිබෙනවා.

වැඩිපුරම එච්අයිවී ආසාදනය වී ඇත්තේ පිරිමි-පිරිමි අතර පවතින සමලිංගික ඇසුරු කිරීම් හේතුවෙන්. දරුවන් එවැනි අස්වාභාවික සබඳතාවලට යොමු නො වන ලෙස ඇතිදැඩි කිරීමට ද මවුපියන් වගබලාගත යුතුයි. මේ සියලු කාරණා සැලකිල්ලට ගත්විට මවුපියන්ට දූදරුවන් සම්බන්ධයෙන් පාසල් අධ්‍යාපනය දීමට පරිබාහිරව කෙතරම් භාරධූර වගකීමක් පැවරී තිබෙනවාද?

මෑතකදී අපේ රටින් වාර්තා වෙන එච්අයිවී ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ කැපී පෙනෙන වැඩිවීමක් දක්නට තිබෙනවා. 2020 දෙවැනි කාර්තුවේදී වාර්තා වී තිබෙන ආසාදිතයන්ගේ ගණන 3816 ක්. සෑම කාර්තුවකදීම 100 කට වැඩි පිරිසක් වාර්තාවෙනවා. 2019 වසර තුළ පමණක් ආසාදිතයන් 439 ක් එනම් ඉතිහාසයේ වැඩිම ගණන වාර්තාවී තිබෙනවා. මෙයින් 359 ක් පිරිමින්. කාන්තාවන් වශයෙන් මවුවරුන් වශයෙන් මේ තත්ත්වය දුරු කිරීමේ විශාල වගකීමක් පැවරී තිබෙනවා. නැතිනම් අවසානයේ බැට කෑමට සිදුවන්නේ කාන්තාවන්ටමයි. විවාහ වන තුරු කායික සබඳතා නො පැවත්වීම, එක් විශ්වාසවන්ත සහකරුවකු / සහකාරියක පමණක් ඇසුරු කිරීම, කායික සබඳතාවක් පැවැත්වීමේ දී කොන්ඩමයක් භාවිත කිරීම, එච්අයිවී වෛරසයෙන් බේරී සිටීමේදී අපට ඉතා වැදගත් වෙනවා. එය කෝවිඩ් - 19 ආරක්ෂා වීමේදී නිතර සබන් ගා අත් සේදීම , දුරස්ථ භාවය පවත්වා ගැනීම, මුව ආවරණ පැලඳීම තරමටම වැදගත්.

 

උපදෙස් - ජාතික ලිංගාශ්‍රිත රෝග හා

ඒඩ්ස් මර්දන වැඩසටනේ අධ්‍යක්ෂිකා

විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි

වෛද්‍ය ඉරේෂ් ජයවීර