කෝවිඩ් -19 රෝගියකු රැක බලා ගන්නේ කෙසේද?

දෙසැම්බර් 16, 2020

 

රෝගියකු කියන්නේ පින් රැස්කර දෙන දේව දූතයකු යැයි බුදු දහමේ කියැවෙයි. එමෙන්ම ගිලානෝපස්ථානය කිරීම බුදු රජාණන් වහන්සේට උපස්ථානය කිරීමට සමාන බව උන්වහන්සේ දේශනාකර තිබෙයි. එහෙත් වැඩි දෙනෙක් ඒ බව අවබෝධකර ගෙන තිබෙනවාද ?

රෝගීන් කොන් කරන්නේ එවැනි අවබෝධයක් නැති පුද්ගලයන්ය. නව කොරෝනා වෛරසය ආසාදිතවී ඇතැයි සැකයක් මතු වූවන් වහාම ප්‍රතිකාර පතා යොමු විය යුතුය. නිවැසියන්ට ද රෝගියා ගැන විශේෂ වගකීමක් පැවරී තිබෙයි. කෝවිඩ් - 19 රෝගියකුගේ සුවය පතා නිවැසියන්ට කළහැකි දේ බොහෝය.

නව කොරෝනා වෛරසය සුළුවෙන් ආසාදිතවූ පුද්ගලයන්

සාමාන්‍යයෙන් සති දෙකකින් පමණ සුවය ලබන අතර තදින්ම බරපතළ ලෙස රෝගය බලපෑ විට සුවය ලැබීමට සති 3 -6 ක් ගතවෙයි. අලුත්ම අධ්‍යයනයන්ට අනුව කෝවිඩ් - 19 යනු සුළුවෙන් වැලඳුනත් බරපතළ ලෙස වැලඳුනත් සමහරුන්ට දිගු කාලීනව උග්‍ර සංකුලතා ඇති කරන රෝගයකි. රෝගය නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති වන වෙනස්කම් නිසා සමහර රෝග ලකුණු ආසාදිතවී සති දහයකට පසු ද දැකිය හැකි වෙයි. රෝගීන්ට දිගු කාලීන සත්කාර අවශ්‍ය වන්නේ මේ නිසාය. පර්යේෂකයන් සොයා ගෙන ඇත්තේ නිවෙසේ සාමාජිකයන්ගේ සහාය හොඳීන් ලැබෙනවා නම් නව කොරෝනා වෛරසය ආසාදිත වූවන් වඩාත් සාර්ථක අන්දමින් සුවය ලබන බව යි.

දිගු කාලීන කෝවිඩ් - 19 කියන්නේ

පශ්චාත් තීව්‍ර කෝවිඩ් - 19" පශ්චාත් තීව්‍ර කෝවිඩ් - 19 සින්ඩ්‍රෝමය ආදී විවිධ නම්වලින් හඳුන්වන තත්ත්වයක් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු ඇතිවන රෝග ලකුණු රැසක් තිබෙයි.

දිගින් දිගටම දැනෙන වෙහෙස - බහුතරයක් රෝගීන් අත්දකින්නකි. මෙය මාස ගණනක් පවතින්නකි. කායිකව මෙන්ම මානසිකව ද වෙහෙසක් දැනෙයි. නිවැසියන් මේ තත්ත්වය හොඳීන් වටහාගත යුතුය.

හෘදය සම්බන්ධ ගැටලු - කෝවිඩ් - 19 වැලඳුණු විට හෘද මාංසපේශි ප්‍රදාහයට පත්වන මයෝකාඩයිටිස් නම් තත්ත්වය ඇති විය හැකිය. හෘද ස්පන්දනයේ අක්‍රමිකතා ඇතිවී පසුකාලීනව හෘද අකර්මණ්‍යතාවක් හටගැනීමේ අවදානමක් මෙවිට පවතියි.

හුස්ම ගැනීමේ අපහසුතාව, සුව නො වන කැස්ස, මස්පිඬුවල වේදනාව, හිසරදය, ස්නායු ගැටලු, මානසික ගැටලු ඇතිවිය හැකි තවත් තත්ත්වයන්ය.

තවමත් කෝවිඩ් - 19 යනු නො කියවූ පොතක් බඳුය. හඳුනා නො ගත් තත්ත්වයන් බොහෝය.

තම පවුලේ සුවවූ ආසාදිතයකුට මෙවන් ලකුණු ඇති වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර පතා යොමු කරන්න. මෙවන් අයට සුපුරුදු ජීවන රටාවට යොමු වීමට කාලයක් ගතවෙයි.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පත්‍රිකාවකින් සහ බීබීසී ඇසුරිනි.