මියෙන තුරා දත් ටික මුතු මෙන් සුරකිමු

දෙසැම්බර් 30, 2020

මුතුවන් දත් දෙපෙළක් නව යෞවනියකට ආඩම්බරයක්. දතක මහිම රුව හැඩ කිරීමට සීමාවී නැහැ. දත නැතිදා උක් දඬු ගිනි තබන්නද? යනුවෙන් කියමනක් ද පවතින්නේ දත නැතිවූදා අපට කිසිදු කෑමක බීමක රස බැලීමට නො හැකි නිසයි.

එපමණක් නො වෙයි සිරුරේ සැඟවුණු සුව ගැටලු ගණනාවක් ගැනම අනාවැකි දත් දෙස බලා කීමට හැකියි. මෙතෙක් දන්ත සෞඛ්‍යයට වින කළේ අප ගන්නා ආහාර පානයි. අපේ වැරැදි ඇවතුම් පැවතුම් ද දත් සහ විදුරුමස් රෝගී වීමට වීමට බලපාන ප්‍රධාන හේතුවක්. කෝවිඩ් - 19 නිසා ද දන්ත සෞඛ්‍යයට යම් බලපෑමක් ඇතිවෙලා. මෙය හඳුන්වන්නේ මාස්ක් මවුත් හෙවත් මුහුණු ආවරණ මුව ලෙසින්. නිව් යෝර්ක් පෝස්ට් සමඟ දන්ත වෛද්‍ය විශේෂඥ රොබ් රැමොන්ඩි කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ නීරෝගි දත් සහ විදුරුමස් තිබෙන අය පවා අලුත්ම මුඛ සෞඛ්‍ය ගැටලුවකට මුහුණ පා ඇති බවයි. මේ ගැටලුව මාස්ක් මවුත් හෙවත් මුහුණු ආවරණ මුව ලෙසින් හඳුන්වනවා.

පැය ගණනක් ඒක දිගට මුහුණු ආවරණ පැලඳීමේදී මුවෙහි වියළි බව වැඩිවෙනවා. ඒවැනි පසුබිමක් බැක්ටීරියා, වෛරස වර්ධනයට සරු බිමක්. අපේ ඛේඨය බැක්ටීරියා, වෛරසවලට ඒරෙහිව ක්‍රියාකරනවා. ඛේඨයේ ක්ෂුද්‍රජීවී නාශක රසායන ද තිබෙනවා. මුහුණු ආවරණ නිසා මුවට ගලන ඛේඨය අඩුවන විට මුවෙන් පිටවන වාතය දුර්ගන්ධවත් වීමට පුළුවන්.

මුවට උනන ඛේඨය අඩු වීමෙන් ආහාර කැබලි ඛේඨයෙන් සේදී යන්නේ නැහැ. ආහාර කැබලි මත බැක්ටීරියා වර්ධනය වීමට පටන් ගන්නා අතර ඒයින්ම දත් දිරායාමට මුල පිරෙනවා. බැක්ටීරියා, වෛරස මඟින් ඒල්ල වන ප්‍රහාර විදුරුමස් රෝගවලට මුල් වෙනවා. විදුරුමස් ප්‍රදාහයට පත් වෙනවා.බැක්ටීරියා, වෛරස මඟින් ප්‍රහාරයක් ඒල්ලවන විට සිරුරින් ආරක්ෂක පියවරක් ලෙස ප්‍රදාහයක් ඇති වෙනවා.

මුවේ දුගඳ හටගන්නේ බැක්ටීරියා නිසයි. මුවේ වියළි බව තත්ත්වය දරුණු කරනවා. දිගු වේලාවක් මුහුණු ආවරණ පැලඳ සිටින විට මුවේ වියළි ගතිය වැඩිවී දුගඳ වැඩි වෙනවා.

මුව වියළීමෙන් සෑදෙන දන්ත පථ ක්‍රමක්‍රමයෙන් විදුරුමස් සහ මුවේ අස්ථීන්ට බලපායි. විදුරුමස්වලට සහ මුවේ අස්ථීන්ට හානි වෙයි. මෙවිට මුලින්ම වේදනාවක් ඇති වෙනවා.

ජලය පානය කිරීමේ සහ හුස්ම ගැනීමේ රටාවේ වෙනස්කම් ද බලපානවා

මුහුණු ආවරණයක් පැලඳුවාට පසු වැඩිදෙනකුට ජලය පානය කිරීමට අමතක වෙනවා. සමහරු නිතර මුව ආවරණය ගලවමින් ජලය පානය කිරීමට අලසකමක් දක්වනවා.

මුවින් පමණක් හුස්ම ගත හැකි අයත් අප අතර සිටිනවා. ඒවන් අය මුහුණු ආවරණ දමා මුවෙන් හුස්ම ගැනීමට උත්සාහ ගැනීමේදී මුවේ වියළි බව තවත් වැඩි වෙනවා.

මේ නිසා දන්ත වෛද්‍යවරුන් මුහුණු ආවරණ පලඳා නාසයෙන් හුස්ම ගන්නා ලෙසටත් වෙනදාටත් වඩා උනන්දුවෙන් ජලය පානය කරන ලෙසටත් සුපුරුදු පරිදි උදෑසනට සහ නින්දට පෙර ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයකින් දත් මදින ලෙසටත් උපදෙස් දෙයි. ආහාර ගත් පසු මුව ජලයෙන් සේදීම ද වැදගත්. ඒසේ නො කළොත් දත් කුහර ඇතිවීම, දත් දිරා යාම, විදුරුමස් රෝග හට ගැනීම වළකනු බැහැ. මුහුණු ආවරණ පැලඳීම අත්‍යාවශ්‍යයි. ඒලෙසම දන්ත සුවය ගැන සිතීමත් ඉතා වැදගත්.

දන්ත වෛද්‍ය විශේෂඥ රොබ් රැමොන්ඩි කළ සම්මුඛ සාකච්ඡාවකිනි.