කෝවිඩ් තිබේදැයි නිවෙසේදී ම බලාගනිමු

ජනවාරි 20, 2021

ඒකාකාරීව ගලාගෙන ගිය ජීවන රටාව පසුගිය වසර පුරාම නව කොරෝනා වෛරසය විසින් උඩු යටිකුරු කරන ලදී. නව සංස්කෘතියක් ලොවට බිහි විය. වෛරසය කරන විනාශයේ අවසානයක් පෙනෙන තෙක් මාන‍යේ නැත. එනිසාම මිනිස් වගට පැමිණි දුක් පැණි රස බව සිතමින් තැනේ හැටියට ඇණේ ගැසීමට සිදුව තිබෙයි. වෛරසය මැඬලීමට තරගයට එන්නත් නිපදවෙයි. එමෙන්ම දවසින් දවස නව කොරෝනා වෛරසය පිළිබඳ කරන වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යයනයන් එළි දැක්වෙයි. ඒ අතර සුබාරංචි ද ගණනාවකි.

 

රුධිරයේ සීනි මට්ටම නිවෙසේදීම මැන බැලීමට හැකි උපකරණ කට්ටල ලොවට අලුත් දෙයක් නො වෙයි. ගැබිනි බව ද නිවෙසේදීම බලාගත හැකිය. වසංගතයක් පවතින කාලයක එය තමන්ට බලපා ඇත්දැයි බලා ගැනීමට හැකි නම් කෙතරම් අපූරුද ? ලෝකයටම හිසරදයක් වී ඇති කෝවිඩ් - 19 වසංගතය මැඬලීමට එක් විශාලම බාධකයක් වී තිබෙන්නේ ඇන්ටිජන්, පීසීආර් පරීක්ෂණ පහසුවෙන් කර ගත නො හැකිවීමයි. නිවෙසේදීම කෝවිඩ් - 19 තමන්ට තිබෙනවාද කියා සැකහැර දැනගත හැකි නම් එය රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීමට ගත හැකි සාර්ථක පියවරකි.

මේ වන විට පීසීආර් පරීක්ෂණය මෙන්ම පහසුවෙන් හා ඉක්මනින් කළ හැකි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය ද ජනප්‍රිය වෙමින් පවතියි. එහෙත් දියුණු රටවල පවා අවශ්‍යතාව තිබූ පමණින් ඒවා කරගැනීමට හැකියාවක් නැත. වසංගතයේ ආරම්භයේ සිටම වෛරසය මඬින්න එන්නතක් වගේම නිවෙසේදීම වෛරසය ආසාදිතදැයි බැලීමට හැකි උපකරණ කට්ටල නිපදවීම ද තරගකාරීව සිදුවිය. මේ වන විට අමෙරිකානු ආහාර සහ ඖෂධ අධිකාරිය විසින් නිවෙසේදීම රෝගය ඇත්දැයි බැලීමට කළ හැකි පර්යේෂණ කට්ටල භාවිතයට සුදුසුදැයි බැලීම සිදු කරයි. අනුමැතිය ලැබෙන කට්ටලවලට එන්නත්වලට මෙන් ම ලොවින් තරගකාරීව ඉල්ලුමක් ලැබෙනු නියතය. මේවා අතර ඔස්ට්‍රේලියාවේ එලියුම් සමාගම විසින් නිපදවා ඇති නිවෙසේ සිට කෝවිඩ් - 19 ඇත්දැයි පරීක්ෂා කරගත හැකි පරීක්ෂණ කට්ටලයකට පසුගිය දෙසැම්බර් 15 වැනිදා සිට අනුමැතිය ලැබී තිබෙයි. මෙහි විශේෂත්වය වන්නේ වෛද්‍ය නිර්දේශයකින් තොරව වුවත් කෙනකුට අලෙවි සලකට ගොස් උපකරණය මිලදීගත හැකි වීමය. පරීක්ෂණ කට්ටලය සමඟ එන කූරක් නාසයට ඇතුළුකර සාම්පල ලබා ගනියි. පීසීආර් පරීක්ෂණවලදී මෙන් නාසය ඇතුළටම කූර ඇතුළු කිරීමට මෙහිදී අවශ්‍ය නො වෙයි. නාසයේ තුළට අඟලක්, අඟල් එකහමාරක් තුළට කූර යොමු කර අදාළ සාම්පලය ලබාගත හැකිය. ඒ කූර විශේෂ ද්‍රාවණයක් දැමූ බෝතලයකට දමා සාම්පලය හොඳීන් දිය වීමට හැරිය යුතුය. ඉන්පසු ඒ බෝතලයෙන්ම පරීක්ෂණ උපාංගයේ ඇති සිදුරකට බිංදු පහක් දමා ඒ විද්‍යුත් පරීක්ෂක උපාංගය ස්මාට් ජංගම දුරකථනයකට බ්ලූටූත් හරහා සම්බන්ධ කළ යුතුය. නොමිලේ ලබාගත හැකි ජංගම දුරකථන යෙදුමක් හරහා ප්‍රතිඵල ලබාගත හැකිය. මිනිත්තු 15ක් වැනි කෙටි කාලයකින් ප්‍රතිඵල ලබාගත හැකි වීම මෙහි ඇති ලොකුම වාසියකි.

අමෙරිකාවේ ඇබොට් සමාගම විසින් නිපදවන ලද පරීක්ෂණ කට්ටලයට ද අනුමැතිය ලැබී ඇත. මෙය රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේ වැඩි දියුණු කිරීමකි. මෙහි ප්‍රතිඵල ද මිනිත්තු 15 ක් වැනි කෙටි කාලයකදී ලබාගත හැකිය. මේ උපකරණය මිලදී ගැනීමට නම් වෛද්‍ය අනුමැතියක් අවශ්‍යය.

 

භයානකම දවස

කොරෝනා ආසාදිතයන් අතර අඩකටත් වඩා සිටින්නේ කිසිදු රෝග ලකුණක් නො පෙන්නූ රෝගීන්ගෙන් රෝගය ආසාදිත වූවන්ය. එය සියයට හැට හතක් තරම් වූ ප්‍රමාණයකි. වෛරසය ආසාදනය වී හතර වැනි දිනයේදී රෝගය වැඩිපුරම ආසාදනය වෙන බව අලුත්ම අධ්‍යයනයකට අනුව හෙළිවී තිබෙයි.

 

උදරයේ බැක්ටීරියා වෛරසය මඩින වීරයෙක්

අපේ උදරයේ සිය ගණනින් බැක්ටීරියා ජීවත් වෙයි. ඒවා විවිධාකාරයෙන් සුවසෙත නැංවීමට උපකාරී වෙයි. අවාසනාවකට තෙල්, සීනි, ලුණු අධික ආහාර ගැනීම නිසා හිතකර බැක්ටීරියා ගණනාවක් ම අපේ උදරයට ආයුබෝවන් කියමින් සිටියි. කෝවිඩ් සමයේදී ද උදර බැක්ටීරියාවල අගය කෙතරම්දැයි කියා වැටහී ඇත. දකුණු කොරියානු, හොංකොං අධ්‍යයනයන්ට අනුව උදරයේ ඇති බැක්ටීරියා නව කොරෝනා වෛරසයට එරෙහිව දැඩි සටනක් සිදු කරයි. වෛරස් ආසාදනය සහ රෝගය දරුණු වීම වැළැක්වීමට උදර බැක්ටීරියාවන්ගෙන් සිදුවන මෙහෙය අතිවිශාලය. අමෙරිකානුවන්ට රෝගය වඩාත් දරුණු ලෙසින් බලපෑමට එක් හේතුවක් වන්නේ ඔවුන්ගේ අහිතකර ආහාර රටාවයි. අපේ ආහාර රටාව බටහිරකරණය කරගැනීම කෙතරම් භයානකදැයි කියා සිතීමට මෙයම පාඩමක් කරගත යුතුයි.

උදර බැක්ටීරියා වැඩිකර ගැනීමට හැකි තරම් එළවළු, පලතුරු, ඇට වර්ග, මුහුන් කළ ආහාර කෑමට ගත යුතුය.