නව වෛරසය ප්‍රතිශක්තිකරණ පද්ධතියත් රවට්ටනවා

ජනවාරි 27, 2021

ලෝකයටම කණ කොකා හඬවන කොරෝනා වෙස්වලා ගත් භයානක හොර නායකයෙක් වගෙයි. කලින් කලට වෙනස් වෙනවා. මෑතකදී වේගයෙන් වෙනස් වෙන බ්‍රිතාන්‍යයේ නව කොරෝනා වෛරස ප්‍රභේදය නිසා ලොව ම කැලඹුණා.

මේ වෛරසයේ ප්‍රභේද තව දුරටත් වෙනස් වෙමින් දකුණු අප්‍රිකාවේ, බ්‍රසීලයේ ද දක්නට ලැබෙනවා. වේගයෙන් පැතිරෙන වෛරස් ප්‍රභේදය අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ද රවටන බව සොයා ගෙන තිබෙනවා. කලින් රෝගය සුළු වශයෙන් වැලඳුණු කෙනකුගේ ඇත්තේ අඩු ප්‍රතිශක්තියක්. ඒ නිසා ඔවුන් රෝගී වීමේ වැඩි ඉඩක් පවතිනවා. අමෙරිකාව මඟින් දකුණු අප්‍රිකාවේ නව ප්‍රභේදය ගැන කළ අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ එයින් අපේ ප්‍රතිශක්තිය හීන කරන බවයි. කලින් ආසාදිතවූ රැසකටම නව ප්‍රභේදය යළිත් ආසාදනය වී තිබෙනවා. මෙවන් වාතාවරණයක් පවතිද්දී සුව උපදෙස් අකුරටම පිළිපැදීම ඉතා වැදගත්. ආස්තරණ තුනකින් යුතු මුහුණු ආවරණ පැලඳීම, නිවැසියන් නො වන පුද්ගලයන් සිටින තැනක අඩු කාලයක් ගත කිරීම ඉතා වැදගත්. සංවෘත වායු සමීකරණය කළ පරිසරයක සිටීම ඉතා අවදානම්. දුරස්ථ භාවය පවත්වා ගැනීම, නිතර දෑත් සේදීම, මුහුණ ඇල්ලීමෙන් වැළකී සිටීමෙන් නව වෛරස් ප්‍රභේදය ශරීරගත වීම බොහෝ දුරට වළක්වාගත හැකියි.

මුහුණු ආවරණ තෝරා ගැනීමේදී කනට සවි වන ආකාරයේ මුහුණු ආවරණවලට වඩා සුදුසු හිස පිටු පසටකර ගැට ගසන ආකාරයේ පටි ඇති මුහුණු ආවරණ යි. සමහරු මුහුණු ආවරණ දෙකත් පවා පලඳීනවා. එයත් යහපත් පුරුද්දක්. විශේෂයෙන් සෙනඟ වැඩි තැනකට යාමේදී එසේ කිරීම නුවණට හුරුයි.

 

දවසින් දවස අලුත් වන රෝග ලකුණු

 

මෙහෙමත් වෙනස් වෙන්න පුළුවන්ද? කොරෝනා ගැන සැමටම එසේ සිතීම පුදුමයක් නො වෙයි. ලන්ඩනයේ කිංග්ස් කොලීජියේ වසංගත රෝග විද්‍යාඥයන් පවසන්නේ මුවේ තුවාල, දිවේ තුවාල . පැල්ලම් හට ගැනීම ( කෝවිඩ් - 19 ටන්ග් ), සමේ පලු මතු වීම අලුතින්ම එකතු වී ඇති රෝග ලකුණු බවයි. තවමත් මේ ලකුණු ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තහවුරුකර නැහැ. මීට අමතරව ඉක්කා වැටීම, කනෙන් ශබ්දයක් ඇසීම, ගොතය, හදිසියේ හිස කෙස් ගැලවී යාම, බලන දෙය දෙගුණවී පෙනීම පවා රෝග ලකුණු ලෙසින් පෙන්නුම් කරනවා. කැස්ස, උණ, හුස්ම ගැනීමේ අපහසුතාවක්, උදරයේ අපහසුතාවක් නැතුව ඉහත ලකුණු ඇති වන්න පුළුවන්. වෛරසය වගේම රෝග ලකුණුත් දවසින් දවස වෙනස් වෙන්න අරන්.

 

පවුම් පහේ අලුත්ම මුහුණු ආවරණය

 

වෛරසය දරුණු වන්න, දරුණු වන්න ඊට මුහුණ දෙන්න මිනිසාට වඩාත් හොඳීන් සන්නාහ සන්නද්ධ වීමට සිදුව තිබෙනවා.

වෛද්‍යවරුන් හා සෞඛ්‍ය බලධාරීන් පසු නො බැස දිගු සටනක් කරනවා. අමෙරිකාවේ මැන්චෙස්ටර් මෙට්රොපොලිටන් සරසවියේ සෞඛ්‍ය සේවා විද්‍යාව පිළිබඳ මහාචාර්ය ක්ෂුද්‍රජීවි විද්‍යා විශේෂඥ වැලරී එඩ්වඩ් ජෝන්ස් ඇතුළු කණ්ඩායම දින 120 ක් විසබීජයෙන් අප රැකගත හැකි මුව ආවරණයක් නිපදවා තිබෙනවා.

මේ මුහුණු ආවරණය මුහුණු ආවරණ මඟින් අපට විසබීජවලින් දැඩි ආරක්ෂාවක් සැපයෙනවා. සාමාන්‍ය රෙදි මුහුණු ආවරණයකින් පවා අඩි 8 ක දුරක් සෙම් බිඳීතිවලින් ගැලවී සිටින්න පුළුවන්.

අප කාටත් හොඳීන් හුරුපුරුදු සර්ජිකල් මුහුණු ආවරණයකින් සෙම් බිඳීති ඇතුළු වීම සියයට අසූ පහකින් වළක්වනවා.

එන් 95 මුහුණු ආවරණයකින් සියයට 95 ක්ම සෙම් බිඳීති ඇතුළු වීම වළක්වනවා. මේ ප්‍රතිඵල ලැබෙන්න නම් හොඳීන් මුහුණු ආවරණ පලඳා තිබිය යුතුයි. (හොඳීන් මුහුණ ආවරණය වනසේ පලඳා තිබිය යුතුයි.) ආස්තරණ හතරක් ඇති නව මුහුණු ආවරණයේ ඇතුළත ආස්තරණය ටයිටේනියම් ඩයොක්සයිඩ් අඩංගු අතර සෝදා භාවිත කිරීමට පුළුවන්.

 

සටහන

චම්පිකා දීපානි රණසිංහ

අන්තර්ජාලයෙනි