ගඳ, සුවඳ,රස නො දැනෙන්නේ කෝවිඩ් නිසා ම ද?

මාර්තු 3, 2021

“සුගන්ධි මොකද මේ? අම්මෝ සුදුලූනු ගඳේ බැහැ. නමේ හැටියට වැඩේ නැහැනෙ. මොකද ඔයාට කෝවිඩ් වත්ද?

හොස්ස ළඟින් මැස්සා යන්න බැරි සුගන්ධි ලැව් ගින්නක් වගේ ඇවිලෙන කේන්තිය මැඩ පවත්වා ගත්තේ අසීරුවෙන්. සුගන්ධි කෙන්තිය කඳුළින් පිට කළා. ගල් වගේ පිරිමි සිත් උණු කරන්න ගැහැනුන්ට තියෙන් හොඳම ආයුදේ කඳුළුනේ. රසාංගගේ ගල් හිතත් නිමේෂයකින් උණූ වුණා. සුගන්ධි පීසීආර් පරීක්ෂණය කළේ ගිය සතියෙ. එයා ගෙදරින් එළියට ගියේ නැති නිසාත් ගෙදරට පිටින් කවුරුත් ආවෙ නැති නිසාත් කෝවිඩ් වැලඳෙන්න ඉඩක් නම් නැහැ.

ඒ නිසාම ගඳ, සුවඳ, රස වෙනස් වෙන්න බලපාන හේතු ගැන මිතුරු කායික රෝග වෛද්‍ය විශේෂඥයකුගෙන් විමසා බැලුවා.

කෙනෙක්ගේ ගඳ, සුවඳ, රස නො දැනීමට හේතු ගණනාවක් බලපානවා. එකක් වයස. වියපත් වෙද්දී අපේ නාසයේ ස්නායු තන්තු නැතිවීගෙන යනවා.

විශේෂයෙන් මෙහෙම වෙන්නේ වයස අවුරුදු 60 ඉක්මවූවාට පස්සෙයි. ඒ නිසා ලුණු රසට, පැණි රසට මෙය බලපානවා. වැඩිපුර කෑමට ලුණු, සීනි කෑම පිසීමේදී එකතු කරන්න ඉඩ තියෙනවා. ඒකෙන් නැති සෞඛ්‍ය ගැටලු ඇති වන්න පුළුවන්.

නාසයේ අභ්‍යන්තර ආස්තරණ පටකය ප්‍රදාහයට පත්වූ විට නාසයෙන් සොටු දියර ගැලීම, නාසය කැසීම වැනි ලක්ෂණ ඇති වෙනවා.

කෝවිඩ් - 19 වගේම සෙම්ප්‍රතිෂ්‍යාව, පීනස, ආසාදන, අසාත්මිකතා, ඉන්ෆ්ලුවෙන්සා නිසා ද ගඳ සුවඳ නො දැනී යනවා. ඒ රෝග තත්ත්වයන් සුව වුණාම ගඳ සුවඳ දැනෙන්න ගන්නවා. ඒත් සති ගාණක් ගඳ සුවඳ නො දැනුණොත් වෛද්‍ය උපදෙස් පතන්නම ඕන.

නාසය ගැටිත්තක් වැනි යමකින් අවහිර වී තිබීම තවත් හේතුවක්.

හිසට අනතුරක් වුණොත් ඒකත් ගඳ, සුවඳ දැනීමට බලපානවා. හිසට වගේම බෙල්ලට, මොළයට හානි වුණත් අපට වෙනදා වගේ ගඳ, සුවඳ නො දැනී යන්න පුළුවන්.

වෛද්‍යවරුන්ට තේරුම් ගන්න බැරි තවත් කාරණයක් තියෙනවා.

ඒ මෙය ඩිමෙන්ෂියා කියන අමතක වීමේ ලෙඩේ හැදීගෙන එන බවට පෙර මඟ ලකුණක් වෙන්නත් පුළුවන්. ඩිමෙන්ෂියා වගේම ඇල්ෂයිමර්, පාකින්සන් වැනි ස්නායු පද්ධතියට බලපාන රෝග තත්ත්වවලදීත් මූලික ලකුණක් විදියට ගඳ, සුවඳ නො දැනී යනවා. දියවැඩියාව වගේ බෝ නො වන ලෙඩත් මේ තත්ත්වයට වගකිව යුතුයි.

සමහර පිළිකා වර්ග නාසය, මුව, මොළය අතර පණිවුඩ හුවමාරුව අඩාල කරනවා.

කිමෝතෙරපිවල අතුරු ආබාධයක් විදියටත් ගඳ, සුවඳ දැනීමේ වෙනස්කම් සිදුවන්න පුළුවන්. යකඩ රසයක් දිවට දැනීම, ගන්ධයන් වඩාත් තදින් දැනීම, වෙනස් විදියට දැනීම එවැනි අයට සාමාන්‍යයයි. මේ තත්ත්වයන් ප්‍රතිකාර අවසන් වූ පසු යථා තත්ත්වයට පත් වෙනවා.

සමහර ඖෂධ ද මීට වගකියන්න ඕන.

විශේෂයෙන්ම ප්‍රතිජීවක, අධික රුධිර පීඩනයට ගන්නා ඖෂධ නාසයෙන් ගඳ, සුවඳ ගැන මොළයට යන පණිවුඩවල වෙනස්කම් සිදු කරන්න පුළුවන්.

ඒ වගේ වෙලාවට වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕන.

ඇතැම් විට රස, ගඳ, සුවඳ නො දැනීමට හේතුව විටමින් ඌනතාව වගේ අපි හිතන්නේ නැති හේතුවක්. විටමින් ඒ, ඕ6, ඕ12, ලඪදජ වගේ විටමින් ඌනතාවක් ඇති වුණාම ගඳ, සුවඳ අඩුවෙන් දැනෙනවා.

දුම් වැටිය ඇති කරන නරක ප්‍රතිඵල අතර ගඳ , සුවඳට වන බලපෑම ද තිබනෙවා. මත් ද්‍රව්‍යය ද ඒ හා සමානව බලපානවා.

සුගන්ධි ළඟදි ප්‍රතිජීවක ගත්තා. හේතුව ඒක වෙන්න පුළුවන්.

කොහොම වුණත් ඇයව ඉක්මනින් පවුලේ වෛද්‍යවරයා ළඟට කැඳවා ගෙන යන්න ඔහු තීරණය කළා.

 

 

උපදෙස්

ප්‍රජා වෛද්‍ය විශේෂඥ

අමිල චන්ද්‍රසිරි