වේග දරා ගැනීම හොඳද ? නරකද ?

මාර්තු 10, 2021

අපේ ශරීරයේ පද්ධතිවල ක්‍රියාකාරීත්වය රිද්මයකට අනුව සිදුවන්නකි. මෙම ශරීර අභ්‍යන්තර ඔර්ලෝසුවට අනුව ක්‍රියාවන් සිද්ධ වෙත්දී එමගින් විවිධ සංඥා ලබා දීම සිදුවනවා. මෙම සංඥා නිසි පරිදි පිළිපැදීම ශරීර ක්‍රියාවන් හරිහැටි පවත්වා රෝග වළක්වා ගන්නට ප්‍රධාන හේතුවකි. ශරීරයේ ස්වභාවිකව ඇතිවන වුවමනාවන් දරා සිටීම ආයුර්වේදයේ වේග දරා ගැනීම ලෙස හඳුන්වනවා. මෙහිදී ද ශරීරය තුළින් මතුවන දරා සිටිය යුතු හා දැරීමට නුසුදුසු වේග යනුවෙන් කොටස් 2 ක් දක්වා තිබෙන අතර ශරීරය විසින් නොදැරිය යුතු වේගයන් දරා සිටීම මගින් ශරීරයට සිදුවිය හැකි අනර්ථයන් බොහොමයකි.

 

කිවිසුම් පිටකිරීමේ අවශ්‍යතාව

ඇතිවන්නේ නාස් මාර්ගයේ ඇති අනවශ්‍ය අංශු පිට පිටතට බැහැර කිරීමට උපක්‍රමයක් ලෙසය. කිවිසුම් පිට නොකර එය දරා ගැනීම මගින් නාසය තුළ පීඩනයක් ඇතිවන අතර එමගින් හිසරදය, බෙල්ලේ තද බව, ගෙලේ අපහසුතාවය ඇතිවිය හැකියි. කලාතුරකින් කන් බෙරයට බලපෑම් ඇති වීම සහ සියුම් රුධිර නාලිකා පුපුරා යෑමෙන් මුහුණේ පැත්තක් පණ නැති වීම් වැනි තත්වයන් වුව ද ඇති විය හැකිය.

 

වමනය යෑමට ඇති වුවමනාව වළක්වාගෙන සිටීම

 

ශරීරයෙහි ඇති අනවශ්‍ය දෙයක්, විසක් ඉවත් කිරීමට දරන උත්සාහයක් ලෙසට වමනය ඇතිවනවා. එය මැඬ පවත්වාගෙන සිටීම මගින් සමේ රෝග, ඇඟ කැසීම, උණ, ඇස් කැසීම, මුහුණේ කළු පැල්ලම් ඇතිවීම, හුස්ම ගැනීමේ අපහසුතා, කුරුලෑ, ශරීරයේ ඉදිමුම්, රක්තහීනතාවය මෙන්ම කලාතුරකින් ඇතැම් පුද්ගලයන්ට මරණය වැනි තත්වයන්ට ද මුහුණ පැමට සිදුවන අවස්ථා තිබෙනවා.

 

කැස්ස දරා සිටීම

ශරිරයට ඇතුළු වන බැක්ටීරියා දුවිලි දුම් සහ විවිධ ආගන්තුක ද්‍රව්‍ය බැහැර කරලීමේ උපක්‍රමයක් ලෙස කැස්ස ඇතිවනවා. මෙමගින් පෙණහලු වල සෙම පිරී යාම අඩුකරනවා. නිතර නිතර කැස්ස පිට නොකර දරා සිටීම නිව්මෝනියා තත්වය, ආහාර අරුචිය, ඉක්කාව හදවත් රෝග ඇතිකරලීමට හේතුවක් වනවා.

ලිංගික වුවමනාවන් දරා සිටීම

ලිංගික ආශාවන් මර්දනය කිරීම ස්නායු රෝග මානසික රෝග ඇති කරන්න වගේම රුධිර පීඩනය ඉහළ නැංවීමට ද හේතුවකි. විශේෂයෙන්ම පිරිමි අයට ශුක්‍ර තරලය බැහැර කරලීම සඳහා වන පෙළඹවීම මැඬ පවත්වාගැනීම මගින් ලිංගික අවයව වල වේදනාව, දැවිල්ල, මුත්‍ර පිටකිරීමේ අපහසුතා, වෘෂණ කෝෂ ඉදිමීම, ලිංගික බෙලහීනතාවය වැනි තත්වයන් ඇතිවනවා

 

පිපාසය දරා සිටීම

ශරීර තරල ප්‍රමාණය අඩු වූ විට තරල සමතුලිතතාවය සඳහා පිපාසය ඇතිවනවා. බොහෝ වෙලාවට අපට දවසේ රාජකාරි එක්ක වතුර බීමට අමතක වනවා. මෙවිට ශරීරයට අවශ්‍ය තරල ප්‍රමාණය නොලැබී යාම නිසා රුධිර පීඩනය අඩු කිරීමට ශරීරයට අවශ්‍ය ඔක්සින් ප්‍රමාණය නොලැබී යාමෙන් කරකැවිල්ල, මානසික ව්‍යාකූල බව මුඛයේ වියළි බව වෙහෙස පපුවේ වේදනා ඇති කරයි. දිගු කාලයක් මෙය පුරුද්දක් ව තිබීමෙන් හිසරදය කන් ඇසීමේ දුර්වලතා ද ඇතිවිය හැකියි.

කුසගින්න දරා සිටීම

නිසි වේලාවට ආහාර නොගෙන කුසගින්නේ සිටීම අද බොහෝ දෙනා සිදුකරන වැරැද්දක.් මෙය බඩ දැවිල්ල, උදර වේදනා, කරකැවිල්ල, ශරීරය දුර්වල වීම, රක්තහීනතා මන්දපෝෂණ තත්ත්ව වගේම ආහාර ජීර්ණය අක්‍රමවත් වීමෙන් කාලීන රෝග රැසක් ඇතිකරලීමට ද හේතු වනවා.

 

කඳුළු සහ හැඬුම් දරා සිටීම

ඔබට දුකක් වේදනාවක් ඇති වු විට හැඬීමෙන් කඳුළු පිට කිරීමෙන් සැහැල්ලුවට පත්වන බව අත්දැකිමෙන් දන්නවා ඇති. නමුත් ඔබ බලෙන් කඳුළු හිරකර ගැනීම හැඬීම පාලනය කර ගැනීම සිදු කරනු ලබයි නම්, කඳුළු මගින් ඇස්වල පීඩනය ද දෙවනුව ඒ කඳුළු නාසයට ගලා ඒමෙන් නාසය හිරවීම සෙම්ප්‍රතිශයාව සහ මානසික ආතතිය, කෝපය, ශාරීරික වේදනාවන්, නින්දට බාධා වීම, හිසරදය, නොසන්සුන් බව, වේගවත්ව හුස්ම ගැනීම, ආහාර අරුචිය, ජීර්ණ ගැටලූ මෙන්ම කල්යත්ම ප්‍රථිශක්තිකරණය අඩු වීම, අධිරුධිර පීඩන තත්ව අක්ෂි රෝග වැනි ඇතිවිය හැකිය.

 

ඈනුම් යාම දරා සිටීම

කම්මැලිකම තෙහෙට්ටුව ආතතිය නිදිමත වැනි හේතුන් මගින් ඈනුම් යාම උත්තේජනය කරනු ලබනවා. මෙවැනි විටක ඈනුම් පිට කිරීම මගින් යළි ශරීරය ප්‍රබෝධමත් කරනු ලබනවා. නිතර නිතර ඈනුම් යාම දරා සිටීම මගින් බෙල්ලේ මාංශපේෂි දුර්වල වී කොඳු ඇට පෙළේ වේදනා, ගෙල පිටුපස වේදනා, කර්ණ රෝග, නාසා රෝග, කරකැවිල්ල අක්ෂි රෝග කල්යත්ම මොළයට හානි වීම්, කම්පන තත්ත්ව, ශරීරය වෙව්ලීම වැනි තත්ත්ව ඇතිවිය හැකියි.

සුසුම් දරා සිටීම

දුකට පත් වු අවස්ථා වලදී තෙහෙට්ටු වූ විට ඔබ ගැඹුරින් හුස්ම පිටකරන අවස්ථා අත්දැක ඇත. සාමාන්‍ය ව්‍යවහාරයේ මෙය සුසුම් හෙළීම ලෙස හඳුන්වනවා. එසේ ගැඹුරින් සුසුම් හෙලීම මගින් ඔබ සැහැල්ලුවට පත් වීම ශරීරය සිසිල් වීම සිද්ධ වනවා. එයා දරා සිටීම මගින් ස්වශන රෝග අධිරුධිර පීඩන තත්ත්ව, හිසරදය කරකැවිල්ල, මානසික ආතතිය වැනි තත්ත්ව ඇතිවිය හැකිය.

 

නිදිමත දරා සිටීම

නින්ද ශරීර සෙඛ්‍යයට ඉතා වැදගත්ය. රාත්‍රියේ නිදි වර්ජිතව සිටීම හිසරදය, ඇස්වල ආතතිය, ඇස් වල බර බව, උදාසීන බව, ශරිරයේ කැක්කුම, තෙහෙට්ටුව ඇති කරවනවා. දිගුකාලිනව ඔබ නිදි මැරීම සිදුකරන අයෙක් නම් හොර්මෝන අසමතුලිතතා මළබද්ධ තත්ත්ව මෙන්ම බොහෝමයක් බෝ නොවන රෝග ඇතිකරලීමට එය ද හේතුවනවා.

 

 

උපදෙස්

වෛද්‍ය ගයා ලක්මාලි

බී. ඒ. එම්. එස්.(ගෞරව)

කොළඹ විශ්ව විද්‍යාලය

එම්. එස්. සී.(රෝහල් පරිපාලන) කැලණිය විශ්ව විද්‍යාලය

ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනී - මිණුවන්ගොඩ